වංචනිකව වැටුප් ගත් ලිට්‍රෝ හිටපු සභාපති
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

වංචනිකව වැටුප් ගත් ලිට්‍රෝ හිටපු සභාපති

වංචනිකව වැටුප් ගත් ලිට්‍රෝ හිටපු සභාපති

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරී තනතුර ද දරමින් සියළුම වරප්‍රසාද සහිතව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

 

එම හිටපු සභාපතිවරයා සභාපති ධුරය සඳහා වන රුපියල් 5,75,000ක මාසික වැටුප ද විධායක නිලධාරියා සඳහා වන වැටුපෙන් සියයට පනහක් ද ලබාගෙන ඇති අතර ඔහු විධායක නිලධාරියාට හිමි රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් ද ලබාගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

 

එමෙන්ම එක් නිලධාරියකු සඳහා මාසික වාහන දීමනාව ලෙස අනුමත කර ඇත්තේ රුපියල් 50,000ක් වුවද මෙම හිටපු සභාපතිවරයා තනතුරු දෙක වෙනුවෙන් මාසික වාහන දීමනාව ලෙස රුපියල් 4,43,300ක දීමනාවක් ලබාගෙන ඇති බවත් මෙම තනතුර සඳහා අනුමත මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් වුවද සභාපතිවරයා තනතුරු දෙක සඳහා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබාගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

 

තවද අදාළ චක්‍රලේඛවලට පටහැනිව මාසිකව රුපියල් 50,000ක රියැදුරු දීමනාවක් ද හිටපු සභාපතිවරයා විසින් ගනු ලැබ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

 

කෙසේ වෙතත් මෙම තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දරනු ලැබීම හේතුවෙන් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නකු වීම නිසා එම තනතුරු දෙක සඳහා ප්‍රතිලාභ පිළිබඳ තීරණ ගැනීමේදී ගැටුමක් ඇති කරන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

 

ඉහත ගෙවීම් කිරීම සඳහා තීරණ ගෙන තිබෙන්නේ ඔහු ද නියෝජනය කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගත යුතු වුවද එසේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

 

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකිනි.
 

views

183 Views

Comments

arrow-up