බන්ධනාගාර නියාමකට දණගස්වා පහර දීලා

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු එලෙස ඔහුව දණගස්වා පහරදී මරණීය තර්ජනය කර පළාගොස් තිබේ.
අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.
එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා දොර අරින්න යනුවෙන් පැවසූවිට අදාළ නිලධාරියාගේ මව දොර විවෘත කර තිබේ.
කළු පැහැති ජැකට්වලින් සැරසී සිටි තිදෙනා එසැනින් නිවස තුළට ඇතුළුවී ඇති අතර ඔවුන්ගෙන් අයෙක් තමාගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කළ බව බන්ධානාගර නියාමකවරයා පොලීසියට පවසා ඇත.
"උඹට හිරගෙදරම ගල්නේද?.. උඹ දැන් අපි ඉස්සරහත් ගල්වෙලා නේද?.. උඹ හිරගෙදර හදන්න එන්න එපා. හිරගෙවල් හදන්න උඹට බැහැ. හිර ගෙදරට කුඩු එන එක උඹට නවත්වන්න බැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්. පොලීසියට ගියොත් බලාගන්නම්." යනුවෙන් ඔවුන් නියාමකවරයාට පවසා ඇත.
පැමිණි තිදෙනාගෙන් අයෙක් සිදුවීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබෙන අතර පසුව ගිනි අවියෙන් බන්ධනාගාර නිලධාරියාගේ හිසට පහරදී ඔවුන් පළාගොස් තිබේ.
277 Views
Comments