ගිනිඅවි උණ්ඩ 50 ක් සමඟ ලංකාවට ආ ව්‍යාපාරිකයා

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගිනිඅවි උණ්ඩ 50 ක් රැගෙන යාමට උත්සාහ කළ ව්‍යාපාරිකයෙකුට රටින් පිටවීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ, අදාළ සිද්ධිය වාර්තා වූ අවස්ථාවේ පොලීසිය හෝ ගුවන් හමුදාව දැනුවත් කළයුතු වූවද එසේ නොකර එම නිලධාරීන් උණ්ඩ තොගය අදාළ ව්‍යාපාරිකයාගේ රියදුරුට භාරදී ඇති බවයි.
ඉකුත් ජනවාරි 29 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට සිංගප්පූරුව බලා යාමට පැමිණි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සතුව තිබී මිලිමීටර 9 ගිනිඅවි උණ්ඩ 50 ක් හමු වී තිබේ. එම නිලධාරීන් වෙත අදාළ ව්‍යාපාරිකයා තමන් සතු උණ්ඩ සඳහා බලපත්‍රයක් ඇති බව පෙන්වා ඇති අතර ඒ අනුව ඔහුව මුදා හැර විදෙස්ගත වීමට අවසර ලබාදී තිබේ.
අනතුරුව වාර්තා වන්නේ, ඔහු රැගෙන යාමට උත්සාහ කළ ගිනිඅවි උණ්ඩ 50 ඔහුව ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ඔහුගේ රියදුරු වෙත ලබාදී ඇති බවයි. ඒ පිළිබඳව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙවැනි අවස්ථාවකදී පොලීසිය හෝ ගුවන් හමුදා නිලධාරීන් දැනුවත් කිරීම අනිවාර්ය වේ. එසේම, අදාළ දිනයේ සිටි නිලධාරීන් ඒ පිළිබඳව කිසිදු කරුණක් පොලීසියට හෝ ගුවන් හමුදාවට දැනුම් දී නොමැති බව ද අනාවරණය විය.
ගිනි අවිවලට නිකුත් කරන බලපත්‍රයක් සඳහා ළඟ තබා ගත හැකි උණ්ඩ ගණන වන්නේ 10 ක් පමණි. ආරක්ෂක අංශ පෙන්වාදෙන්නේ අදාළ ව්‍යාපාරිකයා උණ්ඩ 50 ක් ළඟ තබාගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවයි. වාර්තා වූ තොරතුරු ගුවන් හමුදා නිලධාරීන් ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ට දැනුම් දී තිබේ. මේ පිළිබඳව ගුවන් හමුදාපතිවරයා ද දැනුවත් කර ඇති බව පසුගියදා පැවති ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී වාර්තා විය.
ආරක්ෂක අංශ පවසන්නේ, අදාළ ව්‍යාපාරිකයා කුමන හේතුවක් මත උණ්ඩ රැගෙන යාමට උත්සාහ කළේ ද යන්න පිළිබඳව මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත්තේ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක අංශ නිලධාරීන් එම අවස්ථාවේ නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බවයි.
226 Views
Comments