නිවැරදි දත්ත ලබා නොදීම නිසා විදුලි ගාස්තු අඩුකිරීමේ තීන්දුව කල් යයි

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව විදුලිබල මණ්ඩල බලධාරීන් නිවැරදි ලෙස දත්ත ලබා නොදීම නිසා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීන්දුවක් ගැනීමට මහජන උපයෝගිතා කොමිසමට තවමත් නොහැකි වී තිබෙන බව එම කොමිසමේ සේවකයෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (04දා) මහජන උපයෝගිතා කොමිසම රැස්වන බවත් කොමිෂන් සභාව විසින් සිදුකළ මහජන උපදේශනයට අනුව හා මහජන උපයෝගිතා කොමිසමේ දත්ත විශ්ලේෂණය අනුව විදුලි ගාස්තුව 25%ත් 33%ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවද සේවකයෝ පෙන්වා දෙති.
එහෙත් විදුලිබල මණ්ඩලය පළමු වරට ඉදිරිපත් කළ යෝජනාවට අනුව විදුලි ගාස්තුව පොදුවේ 3.4%කින් අඩු කිරීමට යෝජනා කර තිබූ අතර, දෙවන වර විදුලිබල මණ්ඩලය විසින් 16%කින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබුණි.
එම අදාළ යෝජනා තුළ පිළිගත නොහැකි ගණනය කිරීම් ඉදිරිපත් කර තිබීම නිසා අදාළ දෝෂ තත්ත්වයන් නිවැරදි කරන ලෙසට අවස්ථා දෙකකදී විදුලිබල මණ්ඩල බලධාරීන්ට දැන්වූ බවත් එහෙත් ඒ සඳහා ඊයේ (03දා) දිනය වන තෙක් ප්‍රතිචාර නොලැබුණ බවද මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවකයෝ පෙන්වා දෙති.
විදුලිබල මණ්ඩලය නිවැරදි ලෙස දත්ත ලබා දීමට කටයුතු නොකළහොත් මහජන උපදේශනයෙන් හා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දත්ත විශ්ලේෂණයෙන් ලබා ගත් දත්තවලට අනුව සකස් කරන විදුලි ගාස්තුවක් අඩු කිරීම නියමිතව තිබෙන බවද වාර්තා වේ.
මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා අද කොමිෂන් සභාව රැස්වන අතර, පවතින ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභා බලධාරීන් පසුගිය 01වන දින විදුලිබල මණ්ඩල බලධාරීන් සමග සාකච්ඡා කළත් එම සාකච්ඡා පවා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
227 Views
Comments