ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට තිබූ විශාල බාධාවක් ඉවතට

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් 2022 වසරේ අප්‍රේල් මස 01 වනදා එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම ගැසට් නිවේදනය නීතියට පටහැනි ලෙස නිකුත් කර ඇති බවත්, එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති රිස්ලි ඉලියාස් මහතා විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබේ. මේ අනුව අද එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පවසා ඇත්තේ එම ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇති බවය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවා තිබුණු අතර එහිදී අදාල පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම්දීම සඳහා මෙම පෙත්සම මේ මස 06 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළේය.
256 Views
Comments