ඉදිරියේදී ජනතාවට ආහාර නැතිව ජීවත්වීමට සිදුවේවි - මහාචාර්ය මෙත්තිකා විතානගේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

ඉදිරියේදී ජනතාවට ආහාර නැතිව ජීවත්වීමට සිදුවේවි - මහාචාර්ය මෙත්තිකා විතානගේ

ඉදිරියේදී ජනතාවට ආහාර නැතිව ජීවත්වීමට සිදුවේවි - මහාචාර්ය මෙත්තිකා විතානගේ

විදේශ රටවලින් මිදි, ඇපල් ආනයනය කිරීම පමණක් නොව අනවශ්‍ය ආකාරයෙන් උත්සව, සැමරීම් පැවැත්වීම නතර කළ යුතු බවත්, ආහාර නොමැතිව මිනිසුන්ට ඉදිරියේදී ජීවත්වීමට සිදුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළාය.

 

ආහාර හිඟයට මුහුණදීමට රජය ජනතාවට ඇත්ත තත්ත්වය පැහැදිලි කළයුතු බවත් ඇය පැවසුවාය.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආහාර හිඟය පිළිබඳව කල් ඇතිව දැනගෙන සිටි බවත්, එලෙස දැනුවත්ව සිටියදී ඔවුන් වැරදි තීරණ ගත් බවත්, සේවයෙන් ඉවත් වන අවස්ථාවේදී ආහාර හිඟය පිළිබඳව කාරණා කියා ඵලක් නොවන බවත් මහාචාර්යවරිය පැවසුවාය. 

 

ආහාර හිඟයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට කිසිදු ක්‍රමයක් නොමැති බවත්, කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවට්ටා තිබෙන බවත්, හැම කෙනාම තමන්ට පුළුවන් අයුරින් වගා කටයුතු කිරීම කළ යුතුව ඇතැයිද, තිබෙන පොහොර ප්‍රමාණයෙන් මඤ්ඤොක්කා, කිරි අල ආදිය වවාගෙන එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ජීවත් වූවා මෙන් අමාරුවෙන් ජීවත් වන්නට සිදුවේවි යැයිද ඇය කීවාය.

 

“පිට රටින් මිදි, ඇපල් ගෙන්වීම විතරක් නැවැත්වීම විතරක් නොවෙයි, අනවශ්‍ය ආකාරයෙන් උත්සව සැමරීම්, විවිධ විවෘත කිරීම් සඳහා පවත්වන උත්සව ආදියත් නතර කළ යුතුයි. මොකද ඉස්සරහට එන්නේ මිනිස්සුන්ට කන්න නැතිව ජීවත්වෙන්න සිදුවන කාලයක්.

උත්සව ආදියට වියදම් කරන මුදල් වලින් විශාල පිරිසකට කන්න දෙන්න හැකියාව තිබෙනවා.

වියළි කලාපයේ බහුතරයක් අද ජීවත් වෙන්නේ එක වේලක් විතරක් ආහාර ගැනීමෙන්.

මේ තත්ත්වයෙන් ගැළවෙන්න ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නමුත් එහෙම ක්‍රමවේදයක් ආණ්ඩුව සකස් කරනවා පේන්න නෑ.

රජය විසින් ජනතාවට යථා තත්ත්වය ප්‍රකාශ කළ යුතුයි. පුළුවන් විදිහට පුළුවන් දෙයක් කරන්න ජනතාව පෙළ ගැස්විය යුතුයි.

හොඳම දේ තමන්ම සුළුවෙන් හෝ වගා කටයුතු සිදු කිරීම.

මොකද ඉස්සරහට හුඟක් හොරකම් ආදිය වැඩිවේවි. මිනිස්සුන්ට කන්න නැතිවෙද්දී ජනතාව වැරදි වැඩවලට පෙළඹීම වළක්වා ගන්න ක්‍රමවේදයකට අපි සූදානම් විය යුතුයි.” 

යැයි මහාචාර්යවරිය වැඩි දුරටත් කියා සිටියාය.

views

747 Views

Comments

arrow-up