දුමින්ද සිල්වාට ඊයේ දුන් තීන්දුව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

දුමින්ද සිල්වාට ඊයේ දුන් තීන්දුව

දුමින්ද සිල්වාට ඊයේ දුන් තීන්දුව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා මහතාට ලබාදුන් සමාව අභියෝගයට ලක් කරමින්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ගොනු කරන ලද පෙත්සම් තුනක් ඊයේ දින යළි විභාගයට ගැනුණි.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාට විශේෂ ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ගන්නා ලද තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට තිබිණි.

 


මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ දින යළි විභාගයට ගන්නා ලද බව වාර්තා වන අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කරන ලදී.

 


එහිදී, වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවයි.

 


විනිසුරු මඩුල්ල විසින් වැඩිදුර පෙත්සම් විභාගය ලබන 30 වනදා තෙක් කල්තබන ලදී.
 

views

336 Views

Comments

arrow-up