“තුරුල් කරගෙන හිටියොත් නේ ගඳ එන්නෙ” - ඔෆිස් යන බිරිඳගේ සෙන්ට් සුවඳ පස්සෙන් ගිය සැමියා අන්තිමට නතර වුණ තැන

දර ළිපේ කෑම පිසීම හේතුවෙන් තමා වෙතින් හමන දුම් ගඳ මර්දනය කිරීමට උදෑසන රැකියාවට යාමට පෙර වෙනදාට වඩා සුවඳ විලවුන් පාවිච්චි කරන බිරිඳ පිළිබඳව සැක සිතූ සැමියා හොරෙන් ඇයගේ කාර්යාලයට ගොස් ඇය ගැන විපරම් කර බැලූ පුවතක් අගනුවරට ආසන්න ගම් කිහිපයක් එක්ව සෑදුණු ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
තවමත් තරුණ විය ඉක්ම නොගිය ජැන්ඩි පහට අඳින පළඳින ඇය දුටුවන් සිත් වසඟ කරවන මනා රූසපුවකින් යුක්තවිය.
ඇය නගරයේ කාර්යාලයක පෞද්ගලික සහකාර තනතුරක් හොබවන අතර ස්වාමියා කුඩා ව්‍යාපාර කටයුත්තක් කරගෙන නිවසේ කටයුතුද බලා කියාගෙන සිටියේය.
මේ අතර පවතින ගෑස් අර්බුදය හේතුවෙන් මෙතෙක් කලක් අතහැර දමා තිබූ මුළුතැන්ගෙයි දර ළිපට යළි පණදීමට මොවුන්ට කටයුතු කලහ.
දින කීපයක් වත්තෙන් පිටියෙන් සොයාගෙන ආ දරවලින් කෑම පිසුවත් පැවති වැස්සට අසුවී දරටික තෙමීම හේතුවෙන් උදෑසන ආහාර පිළියෙල කිරීමේදී දුම් නාගෙන දස වද විඳීමට ඇයට සිදුව තිබුණි.
මේ තත්ත්වය හේතුවෙන් සේවයට යාමට පෙර වෙනදාටත් වඩා සෙන්ට් පාවිච්චි කිරීමටද ඇයට සිදු විය.
උදේ පාන්දර දර ළිපත් සමඟ හෙම්බත්වූ ඈ දිනක් තම ස්වාමියා අමතා මෙලෙස දෝස් මුරයක් එල්ල කළාය.
“අපෝ මටනම් බෑ මේ වදේ විඳින්න. ඊටත් මම කොහොමද ඔෆිස් එකේ මනුස්සයෙක් ළඟට ගිහින් වැඩ කරන්නෙ. ඉහින් කනින් දුං ගඳයි දැළි ගඳයි. ඔයාම උයන්න, එහෙම බැරිනම් කොහෙන් හරි ගිහිල්ල ගෑස් සිලින්ඩරයක් ගේන එකයි ඇත්තෙ. මට නං මේ සුමේ තවත් කරන්න බෑ බෑ බෑමයි.”
ඇයගේ කන්දොස්කිරියාව ඇසීමෙනුත් ඇය මෑතක සිට උදෑසන වෙනදාට වඩා සෙන්ට් පවුඩර් උලනු දැක ඇති නිසාත් සැකය මුසු කෝපයකින් ඔහුගේ මනස අවුල් විය.
මිනිස්සු ළඟින් ගියාට මොකෝ, තුරුල් කරගෙන හිටියොත් නේ ගඳ එන්නෙ” යැයි ඔහුගේ කටින් පිටවුණේ ඇයගේ තනතුර පිළිබඳවද ක්ෂණිකව ඔහුගේ සිතට සැකයක් පහළවූ නිසා විය හැකිය.
වචන හුවමාරුව වැඩිදුර නොයවා පාලනය කර ගැනීමට දෙදෙනාම සමත් වුවද බිරිඳ ගැන ඇගේ කාර්යාලයට ගොස් විපරම් කර බැලීමට ඉටා ගත්තේ වෙනදාට වඩා ඇයගේ මේ වෙනස කාර්යාලයේ කා සමඟ හෝ වැඩි ඇඟෑළුම්කමක්වත් තිබෙන නිසාදැයි සොයා බැලීමටයි.
ඒ අනුව දින කීපයක්ම ඇයට නොදැනෙන්නට කාර්යාලයට ගොස් සහ වෙනත් ක්‍රම මගින් ඇය ගැන විපරම් කර බලා ඇති ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇය කන්තෝරුවේ සිටින විනයගරුක මෙන්ම සංවරශීලීම නිලධාරිනියක් බවටලු.
765 Views
Comments