මහා පරිමාණ පස් ජාවාරමක් නීතිය රැහැනට හසුවෙයි

මහව, මඩගල්ල ප්‍රදේශයේ රජයේ ඉඩමක සිදුකරගෙන ගිය මහා පරිමාණ පස් ජාවාරමක් අද (30) දින අනාවරණය විය.
මහව, මඩගල්ල ප්‍රදේශයේ වැවක් ඉදිකරන මුවාවෙන් පිරිසක් විසින් මහා පරිමාණයෙන් එම පස් ජාවාරම සිදු කරගෙන ගොස් පවතින බව අනාවරණය වේ.
මේ පිළිබඳ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් සොයා බැලීමක් සිදු කළ අතර ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගනිමින් එහි පස්කැණීම් සිදුකරමින් සිටි අයුරු එම නිලධාරින්ට දැකගැනීමට හැකිවූ බව වාර්තා වේ.
පස් රැගත් ලොරියක් එම ස්ථානයෙන් පිටත් විමට එම අවස්ථාවේ උත්සාහ දැරීම හේතුවෙන් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන් එම ලොරිය සිය භාරයට ගැනීමට කටයුතු කළේය.
එලෙස පස් ප්‍රවාහනයට කිසිදු බලපත්‍රයක් හෝ නීත්‍යානුකූල අවසරයක් නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.
විශාල භුමි ප්‍රමාණයක එම ජාවාරම්කරුවන් පස් කැපීම සිදුකර ඇති අතර වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වුණේ, මෙම ඉඩම රජය සතු ඉඩමක් බවයි.
පස් කැපීම සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බවත් වැඩිදුරටත් සිදුකළ සොයාබැලීමේදී තහවුරු වුණි.
මහව පොලීසියට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර එලෙස දැනුම්දී පැය 2ක පමණ කාලයකට පසු එහි පැමිණි පොලීසිය පස්කැපීම සඳහා යොදාගත් ස්කැවේටර් යන්ත්‍රය සහ ලොරි රථය ඒවායේ රියදුරන්ද සමඟ සිය භාරයට ගනු ලැබුණි.
191 Views
Comments