“ජීවන වියදම දරාගන්න බෑ - අපි ජීවත් වෙන්නේ කොහොමද?” වතු කම්කරුවෝ විරෝධයක

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වී ජීවන වියදම අධික ලෙස ඉහළ යෑම නිසා තමන්ට ජීවත්වීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි පවසමින් නුවරඑළිය, ආගරපතන, ටොරින්ටන් වත්තේ වතු කම්කරුවන් පිරිසක් පසුගිය මස 29 වනදා විරෝධතාවක නිරත වූහ.
විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඩයගම, පෝඩයිස් මාර්ගය අසලට එක්රැස් වූ වතු කම්කරුවන් විශාල පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත විය.
තමාට දරාගත නොහැකි ලෙස හාල්, පාන් පිටි, පාන්, ගෑස් ඇතුළු සියලූම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, මේ නිසා තමන්ට ජීවත් විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවත් විරෝධතාවයේ නිරතව සිටි වතු කම්කරුවෝ සඳහන් කළහ.
දිනකට රුපියල් 1000ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදෙන බව පැවසුවත් මේ වනවිට දිනකට ලැබෙනුයේ රුපියල් 400 ක් වැනි සොච්චම් මුදලක් බවත්, එම මුදලින් ජීවත්වීමට තබා දිනකට එක වේලක් කෑමට පවා අපහසු වී ඇතැයි විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වහාම අඩුකොට තමන්ගේ දෛනික අනුමත වූ රු.1000 වැටුප වහා ගෙවන ලෙසත්, භාණ්ඩවල මිල අඩු කිරීමට නොහැකි නම් වහාම ආණ්ඩුව කළ හැකි අයෙකුට භාරදෙන ලෙසත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් පැවසූහ.
754 Views
Comments