දරු දෙදෙනා සමඟ මව නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

දරු දෙදෙනා සමඟ මව නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක්

දරු දෙදෙනා සමඟ මව නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක්

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයේ නිවසක ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයාගෙන තිබේ.

 

පරිසරවේදියෙකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න මහතා නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව ඊයේ(01) එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් අනතුරුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී ඇත.

 

මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදීම එම ඇඳේ මෙට්ටය යට නයි පැටවුන් 30 දෙනාද දින ගණනාවක්ම සිට තිබීමයි.

 

පෙරේදා(31) දිනයේ නිවෙස තුළ සිටියදී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව තිබෙන අතර නිවෙස් හිමියා බියට පත්වී එම සතුන් දෙදෙනාට පහරදී මරා දමා තිබේ.

 

ඉන්පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවෙක් ඇඳේ නිදා සිටි අයෙකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂා කර බැලීමේදී ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන්ව දැක තිබේ.

 

ඔවුන් පසුව ඒ බව පරිසරවේදියකු වන කැළුම් මහතාට දැනුම් දීමෙන් පසුව ඒ මහතා පැමිණ නිවෙස පරීක්ෂා කර බලා ඇඳේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර ඇත.

 

නිවස දැඩි පරීක්ෂාවකට ලක් කළත් වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහිවූ බිත්තර වල කටු පවා හමු නොවූ බවත් පැරණි නිවසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකිවූ බවත් කැළුම් මහතා පැවසුවේය.

views

43533 Views

Comments

arrow-up