අයියාගේ දවස් 14 දානය අරන් පන්සලට ගිය නංගී යන අතරමඟ වන අලි ප්‍රහාරයෙන් මෙලොව හැරයයි

මිණිපේ, හසලක, ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ ඊයේ(28) උදෑසන වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි හසලක පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ හසලක ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ පදිංචි පී. කේ. ජී. අනුත්තරා ඉඳුනිල් යන වයස 16ක් වු පාසල් සිසුවියයි.
ඇය හසලක කිණපැලැස්ස බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබ තිබෙන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අද(29) දින ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මුහුණ සූදානම්ව සිටි දැරියකි.
මියගිය දැරියගේ එකම වැඩිමහල් සහෝදරයා මීට දින 14කට ඉහතදී ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
සහෝදරයා මියගොස් දින 14ක් පිරීම නිමිත්තෙන් විහාරස්ථානයට උදෑසන දානය රැගෙන යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව අවාසනාවන්ත ලෙස පවුලේ ඉතුරු වී සිටි එකම දරුවාද දෙමාපියනට අහිමිවී තිබේ.
මව පියා සහ මියගිය ශිෂ්‍යාව ගමේ විහාරස්ථානයට දානය රැගෙන යන අතරතුරදී මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති අතර සිද්ධිය සිදුවූ ස්ථානයේ පන්සලට රැගෙනයමින් තිබූ දානය පසෙකට විසි වී තිබෙනු දක්නට ඇත.
මව සහ පියා ඉදිරිපිටදීම වන අලියා දැරියට පහර දෙද්දී, ඔවුනට කර කියා ගත දෙයක් නොවීය.
ප්‍රහාරයට ලක්වූ දැරිය ප්‍රදේශවාසීන් එක්ව හසලක ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට තිබේ.
මොවුන්ගේ නිවස මහවැලි ගඟ ආසන්නයේ පිහිටා තිබෙන අතර දහවල් කාලයේ මහවැලි ගඟේ රැඳී සිටින වන අලි රාත්‍රියවත්ම මහවැලි ගඟේ සිට ගම්මාන කරා පිවිසෙති.
එසේ ගම්වදින වන අලි ගම්වැදීම සිදු කරනු ලබන්නේද මියගිය දැරියගේ ගෙවත්තෙනි.
මහවැලි ගඟ දිගේ විදුලි වැටක්ද ස්ථාපනය කර ඇති අතර එම විදුලි වැට පෙරළාගෙන නිරන්තර වන අලි ගම් වදිති.
ගම්වැසියන් චෝදනා කර සිටින්නේ බලධාරීන් මෙම ගැටලුවට නිසි ආකාරව මැදිහත් නොවන බවටයි.
හසලක, ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ ජනතාව වන අලි ග්‍රහණය මැද ඉතා අමාරුවෙන් ගොවිතැන් කටයුතු කරගෙන යන ගොවි ජනතාවක් සිටින ප්‍රදේශයකි.
304 Views
Comments