යතුරුපැදි අටක් ඉස්සූ මත්ලෝලියෙක් පිළියන්දලින් අල්ලයි

අන්තර්ජාලයේ පළකර තිබූ දැන්වීම් ඔස්සේ යතුරුපැදි මිලදීගන්නා මුවාවෙන් ගොස් යතුරුපැදි සොරකම් කළ පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් මෙලෙස ලක්ෂ 50කට අධික යතුරුපැදි 8ක් සොරකම් කර ඇති බවට අනාවරණය වී ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී මෙම වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ්පත් 4 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු විසින් සොරකම් කරන ලද යතුරු පැදි කිහිපයක් පිළියන්දල සහ බොරලැස්ගමුව ආශ්‍රිත ප්‍රදේශවල යතුරුපැදි අලෙවිසැල් වෙත ඉතා සුළු මුදලකට අලෙවිකර තිබියදී සොයාගෙන ඇති අතර එක් යතුරුපැදියක් කොටස් කර සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.
හෝමාගම, කොට්ටාව, කැස්බෑව, පිළියන්දල සහ කහතුඩුව පොලිස් වසම් ආශ්‍රිතව සැකකරු මෙලෙස යතුරුපැදි සොරකමේ නිරතව ඇති බව අනාවරණය වී ඇත. සියළු මිලදීගැනීම් සඳහා සැකකරු විසින් ව්‍යාජ හැඳුනුම්පතක් යොදාගෙන ඇති බවත්, සැකකරුගේ නමට කිසිදු සිම්පතක් හෝ මිලදීගෙන නොමැති බවත් මේ හේතුවෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය ප්‍රකාශ කර සිටී.
සොරකම් කරන ලද යතුරු පැදි තම යතුරු පැදි බවත්, ඊට අදාල ලිපි ලේඛන අස්ථානගතව ඇති බවත්, තමන් මේ පිළිබඳව පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් සඳහන් පොලිස් පැමිණිලි වාර්තාවක් ද ඉදිරිපත් කළ සැකකරු වංචා සහගතව අදාල යතුරුපැදි අලෙවිකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්, බස්නාහිර පළාත් දකුණු දිසාවේ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සඳහන් වේ.
228 Views
Comments