මොකද්ද මේ ලියුකේමියාව?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

මොකද්ද මේ ලියුකේමියාව?

මොකද්ද මේ ලියුකේමියාව?

ලියුකේමියාව යනු සිරුරේ සුදු රුධිරාණු මට්ටම, රතු රුධිරාණු මට්ටම ඉක්මවා යාම යි. සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ සිරුරේ රුධිරය මයික්‍රෝ ලීටරයක සුදු රුධිරාණු 4,000 සිට 11,000 දක්වා වූ අගයක පවතී. එය මුළු රුධිර පරිමාවෙන් 1%ක ප්‍රතිශතයකි. ලියුකේමියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකුගේ සිරුර තුළ මෙම අගය රුධිරය මයික්‍රෝ ලීටරයකට 100,000 සිට 400,000 දක්වා වූ අගයක් ගනී. මෙම රුධිර සෛල පූර්ණ ලෙස වර්ධනය නොවූ අසම්පූර්ණ සෛල ලෙස සැලැකේ.


මෙලෙස අසාමාන්‍ය ලෙස වර්ධනය වන සුදු රුධිරාණුවලට, ආසාදනයන්ට එරෙහි ව සරන් කිරීමට නොහැක. ඒවා රතු රුධිර සෛල හා රුධිර පට්ටිකා නිපදවීමට, ඇට මිදුළුවලට ඇති හැකියාව ද අඩාල කරයි. මෙම රෝගී තත්ත්වය ජානමය සාධක එසේත් නැතිනම් පවුල් පසුබිම මුල් කොටගෙන හෝ වෙනත් පාරිසරික සාධක මුල් කොටගෙන ඇතිවිය හැකි ය. 


පොදුවේ ලියුකේමියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකුගේ රෝග ලක්ෂණ ලෙස ඉතා ඉක්මනින් වෙහෙසට පත්වීම, ශක්තිය මඳ බව / දුර්වල ගතිය, සමේ වර්ණය සුදුමැලි වීම, උණ ඇතිවීම, සම මත පහසුවෙන් තැලීම් ඇතිවීම හා ලේ ගැලීම් සිදුවීම, අස්ථි/සන්ධිවල ඇතිවන වේදනාව, වසා ගැටිති ඉදිමීම, ප්ලීහාව හා අක්මාව විශාල වීම, නිරන්තරයෙන් ආසාදන ඇති වීම, අසාමාන්‍ය ලෙස බර අඩුවීම, රාත්‍රියේ දී දහදිය දැමීම සහ ස්වසන අපහසුතා ඇතිවීම ආදිය හැඳින්විය හැකි ය.


ඕනෑම ලියුකේමියා රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී, ඔහුට වැලඳී ඇති ලියුකේමියා වර්ගය, වයස, වෙනත් අවයවවලට රෝගය පැතිරී ඇති ද යන්න හා සමස්ත සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ව සැලකිලිමත් වීම වැදගත් ය.


ලියුකේමියාව ඇති වීම සඳහා නිශ්චිත හේතු හඳුනා ගෙන නොමැති බැවින් එය වළක්වාගත හැකි නිශ්චිත ක්‍රමයක් තවමත් ලෝකයේ සොයාගෙන නොමැත. කෙසේ නමුත්, අධික ලෙස රසායනික ද්‍රව්‍යවලට හෝ විකිරණවලට නිරාවරණය වන්නන්, පිළිකා රෝග සඳහා radiation therapy හෝ chemotherapy ලබාගන්නන්, ලියුකේමියා පිළිබඳ ව පවුල් ඉතිහාසයක් ඇති අය සහ Down syndrome වැනි ජානමය ආබාධ ඇති අය, මෙම රෝගී තත්ත්වය පිළිබඳ ව අවධානයෙන් පසු වීම වැදගත් ය.

views

363 Views

Comments

arrow-up