ඔබේ දරුවාට MMR එන්නත ලබා දුන්නාද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

ඔබේ දරුවාට MMR එන්නත ලබා දුන්නාද?

ඔබේ දරුවාට MMR එන්නත ලබා දුන්නාද?

උණත් සමග මේ දිනවල පැතිර යන සරම්ප අවදානම ගැන වැඩි අවධානයක් මතුව ඇත.



සරම්ප යනු නිසි ප්‍රතිශක්තිකරණය මගින් වළකා ගත හැකි රෝගයකි. ‘පැරමික්සො‘ (Paramyxo) වයිරස කාණ්ඩයට අයත් වයිරසයක් මගින් හට ගනී. බෝවන රෝගයකි.


මෙම රෝගය පුද්ගලයන් අතර ව්‍යාප්ත වනුයේ ස්වසන පද්ධතිය හරහාය. එනම් ස්වසන පද්ධතිය ආශ්‍රිත ස්‍රාව හරහා රෝගය බෝවේ. සරම්ප රෝග ව්‍යාප්තිය වේගවත් අතර වයිරසය ශරීර ගතව ඇතත්, රෝග ලක්ෂණ මතු වීමට දින කිහිපයකට පෙර සිටම ආසාදිතයාගෙන් වෙනත් පුද්ගලයන්ට බෝවිය හැකිය. රෝගයේ බීජෞවසන සමය වන සතියක් දෙකකින් පසු රෝග ලක්ෂණ මතු වේ.


මුලින්ම සාමාන්‍යාකාරයේ සෙම්ප්‍රතිශ්‍යා ගතියක් පෙන්වයි. අනතුරුව උණ, නාසයේ බර ගතිය, සොටු දියර ගැලීම සිදු වේ. ඒත් සමගම ඇස් දෙක තද පැහැති ආකාරයට රතු වීමට පටන් ගැනේ. මෙකී වයිරසයේ බලපෑම මුළු ශරීරය පුරාවටම බලපැවැත්විය හැකි අතර ඇස් රතු පැහැ ගැන්වීමට හේතුව වයිරසයේ බලපෑම ඇහැට බලපා ඇති නිසාය.


රෝග ලක්ෂණ මතුවී දින 04 ට පසු සමේ රතු ලප මතුවේ. මේ රතු ලප සිරුර පුරාම දැකිය හැකි අතර හැඩයකට අනුව පැතිරීමට පටන් ගැනේ. එනම් මුලින්ම මුහුණෙත්, පසුව පපුව ප්‍රදේශයෙත්, පිට දෙපැත්ත, දෙඅත්, දෙපා යනාදී ලෙස සිරුරේ පහළට පැතිර යයි. මේ අතර තද උණ ගතිය සමග කුෂ්ඨයක් ආකාරයටද පැතිරීමට පටන් ගැනේ.


රෝගී තත්ත්වය උත්සන්න වීමේදී තෙහෙට්ටුවක් දැනීම, මලානිකභාවය, ආහාර ප්‍රතික්ෂේප කිරීම, අධික උණ තත්ත්වයක් පවා මතු වීමට පිළිවන. එනම් ෆැරන්හයිට් අංශක 104 ට වගේ උණ පැවතිය හැකිය. මේ රෝග ලක්ෂණද සතියක් ඇවෑමෙන් පහවී යයි.



රෝග කාරක වයිරසය නිසා පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේ. එසේම පසුකාලීනව වෙනත් ආසාදන පවා ඇති වීමට පිළිවන. එනම් නිව්මෝනියාව, මොළයට බලපෑම් එල්ල වීම වැනි දෑ සඳහන් කළ හැකිය. දිගින් දිගටම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේනම් බැක්ටීරියා ආසාදන තත්ත්ව පවා මතු වීමට හැකිය.


එබැවින් රෝගී කාල සීමාවේදී රෝගියා ආහාර පාන ප්‍රතික්ෂේප කරන බැවින් විජලනය වීමෙන් වළකා ගත යුතුය.


සරම්ප රෝගය දරුවන්ට, වෙනත් නිදන්ගත රෝග ඇති අයට වැළඳුණහොත් බරපතළ විය හැකිය.


සමහර අවස්ථාවලදී සරම්ප වැළඳී සුව වුවද අවුරුදු 05 ක් 06 ක් පමණ ගත වෙද්දි මෙහි අවදානම මොළයට බලපෑමට හැකිය. එය දැඩි සංකූලතාවකි. මෙනිසා මොළයේ ක්‍රියාකාරීත්වය කෙමෙන් කෙමෙන් අඩපණ වීමට පටන් ගැනේ. අනතුරුව සිහි කල්පනාව අඩු වීම, වලිප්පු තත්ත්වයට පැමිණීම වැනි දෑද සිදු වේ. එසේම ප්‍රකෘති සිහිය මුළුමනින්ම පාහේ අහිමිව ගියහොත් ජීවිත හානි පවා සිදු විය හැකිය.


සරම්ප රෝගියකුගේ ප්‍රතිකාර ගැන කතා කරද්දි මෙය වයිරස් තත්ත්වයක් බැවින් විශේෂිත ප්‍රතිකාර නොමැත. එහෙත් රෝගී කාල සීමාව තුළ නිසි පෝෂණය ඉතා වැදගත්ය. රෝගියාව විජලන තත්ත්වයෙන් වළකා ගෙන උණ තත්ත්වය මනාව පාලනය කර ගත යුතුය.


වර්ෂ 1983 සිට මෙරට තුළ සරම්ප එන්නත ලබා දීම ඇරැඹිණි. ඒ අනුව දරුවකු ඉපදී මාස 09 න් හා අවුරුදු 03 දිත් මෙකී එන්නත ලබා දේ. MMR නමින් හැඳින්වෙන මෙය සරම්ප, කම්මුල් ගාය, රුබෙල්ලා යන ත්‍රිත්ව රෝගවලට ලබා දෙන එන්නතකි.


මෙහි පළමු මාත්‍රාව මාස 09 න් ලබා දී දෙවැනි මාත්‍රාව අවුරුදු 03 දී ලබා දෙයි. සරම්ප වැළඳුණත්, නැතත් මෙම එන්නත සියලුම දරුවන්ට ලබා දිය යුතුය.


එන්නත ලබා දුන් මුල් කාලයේ සිට සරම්ප රෝගීන්ගේ වර්ධනයක්, අලුත් රෝගීන් වාර්තා නොවුණ බැවින් 2019 වසරේදී ලංකාව සරම්පවලින් තොර රටක් ලෙස නිර්දේශ කරනු ලැබිණි.


නිසි එන්නත්කරණය නිසා සරම්ප රෝගය මෙරටින් තුරන් වුවද ඉකුත් සතිය වනවිට සරම්ප යැයි තහවුරු කළ ළමා රෝගීන් කිහිප දෙනකු යළි වාර්තා විය. මේ කිසිදු දරුවකු MMR එන්නත ලබා නොගෙන තිබීම ඉතාම කනගාටුදායකය.



එන්නත ලබා නොගෙන සිටියදී යම් හෙයකින් සරම්ප වැළදුණහොත් සංකූලතා වැඩි අතර වැළඳුණායින් පසු එන්නත ලබා ගැනීමද ප්‍රායෝගික නොවේ. සරම්ප යනු නිසි ප්‍රතිශක්තිකරණය මගින් වළකා ගත හැකි රෝගයක් බැවින් ළමා ජීවිත මෙයාකාරයට අනතුරේ හෙළීම කෙතරම් අසාධාරණද යන්න මවුපියන් පිළිතුරු දිය යුතුම පැනයකි.
 


මේ වන විටත් ඔබේ දරුවාට සරම්ප එන්නත (MMR) ලබාදී නොමැති නම් නොපමාව ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය( MOH ) වෙතින් එන්නත ලබා දීමට කටයුතු කරන්න. මෙකී එන්නත රජය මගින් නොමිලේ ලබා දෙනු ඇති.

views

304 Views

Comments

arrow-up