නිතර නිතර අමතක වෙනවාද?

ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) වැළඳුණු පුද්ගලයන්ගේ මතකය ඉතා ම ඉක්මනින් අඩු වී යයි. ඒ නිසා ම කලබලකාරී ව්‍යාකූල තත්ත්වයක් (confusion) ඔවුන් තුළ ඇති වේ.
මේ අමතක වීමත්, ව්‍යාකූල තත්ත්වයත් නිසා ඔවුන් කලකිරීමටත්, පහසුවෙන් කෝප ගැනීමට මෙන් ම බියපත් වීමටත් ලක් වේ. මේ රෝගයට ලක් වූවන්ට බොහෝ විට අතීතයේ සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳ හොඳින් මතක තිබෙන අතර වඩාත් මෑත කාලයේ සිදු වූ දේ පිළිබඳව අමතක වීම බහුලව සිදු වනු දැකගත හැකි ය.
කතා කිරීමේ දී ගොත ගැසීම, දිගු නිහඬතාවය සහ එක ම දේ නැවත නැවත කීමත් මොවුන්ගේ දැක ගත හැකි ය. එසේ ම මේ රෝගීන්ට තමාගේ නිවස වැනි ඉතා සුපුරුදු පරිසරයක පවා අවශ්‍ය තැන් සොයා ගැනීම අපහසු වනු දැක ගත හැකි ය.
රෝග තත්ත්වය වර්ධනය වීමත් සමග ම එදිනෙදා කටයුතු වන කඩමණ්ඩියට යෑම, ඉවුම් පිහුම් කිරීම පමණක් නො ව මුහුණ කට සෝදා තම ඇඳුම් පැළඳුම් ඇඳ ගැනීමට ද අපහසු තත්වයක් ඇති වේ. අන් අය සමඟ කතාබහ කිරීම අපහසු වන අතර ඒ නිසාම තමා අවට පරිසරය පිළිබඳ අවධානය නැති වී යයි. මේ නිසා ඔවුන් වඩ වඩාත් මානසික අවපීඩනයට ලක් වනු දැකගත හැකි ය.
තම පවුලේ අයකු හෝ මිතුරෙකු ඇල්සයිමර් රෝගයට ලක් වී මතකය අහිමි වීම කණගාටුදායක අවස්ථාවකි. බොහෝ විට තමන් හෝ තම පවුලේ අයකු මේ රෝග තත්ත්වයට බදුන් වී ඇතැ යි පිළිගැනීමට බොහෝ දෙනා මැලිකමක් දක්වති. අනෙක් අතට මෙවැනි රෝග තත්ත්වයක් අප සමාජය තුළ පැහැදිලි හඳුනාගැනීමක් නොමැති නිසා එය මානසික ආබාධයක් ලෙසින් සලකා සමාජීය වශයෙන් කොන් කිරීමකට ලක් වන අවස්ථා ද දැක ගත හැකි ය.
මතකය අඩු වීම පාලනය කිරීමට ලබා දෙන ඖෂධ මෙන් ම ඔවුන්ගේ වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ නිසි ආකාරයෙන් මේ රෝගීන්ට ලබා දීම ඉතා ම වැදගත් කරුණකි. ඔවුන් ඒ ඖෂධ නිසි පරිදි පාවිච්චි කරන බව සනාථ කර ගැනීම වැදගත් වන අතර පසුකාලීන ව ඔබ ඉදිරියේදී ම එම ඖෂධ රෝගීන්ට ලබා දීම කළ යුතු වේ.
එසේ ම මේ රෝගීන් නියමිත කාලාන්තරයකට අනුව වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගැනීම ද වැදගත් වේ. විශේෂයෙන් ම අලුත් රෝග ලක්ෂණයක් පහළ වූ විට ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ.
446 Views
Comments