මැලේරියා හිස ඔසවයි? දැනගෙන පරිස්සම් වෙන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

මැලේරියා හිස ඔසවයි? දැනගෙන පරිස්සම් වෙන්න.

මැලේරියා හිස ඔසවයි? දැනගෙන පරිස්සම් වෙන්න.

ශ්‍රී ලංකාවේ 2012 න් පසු මැලේරියාව දේශීයව සම්ප්‍රේෂණය වීම නතර කරන ලදි. 2016 දී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කරන ලදි.



මේ වනවිට වාර්ෂිකව මැලේරියා රෝගීන් 40 ක් 50 ක් අතර පිරිසක් වාර්තා වන අතර ඔවුහු සියල්ලෝම රෝගය ව්‍යාප්තව ඇති රටවල සිට මෙරටට පැමිණෙන්නෝය.



රෝගය බෝ වන්නේ "ප්ලැස්මෝඩියම්" නම් පරපෝෂිතයාගෙනි. මෙම පරපෝෂිතයා මිනිස් රුධිරයේ සිටිනා විට "ඇනෝෆිලිස් " මදුරුවන් දෂ්ට කිරීමෙන් ඒ හරහා රෝගය තවත් පුද්ගලයකුට බෝවීම සිදු වේ.



2019 වසරේදී මැලේරියා රෝගීන් 53 ක්ද, 2020 දී රෝගීන් 30 ක්ද, 2021 දී රෝගීන් 26 ක් සහ මේ වසරේ ගතවු 30 වැනිදා වනවිට රෝගීන් 20 දෙනකු වශයෙන් වාර්තා වී ඇත.



අපේ රට මැලේරියා පරපෝෂිතයා තුරන් කළද වාහක මදුරුවා මෙරටේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබේ. ඒ අතරින් වියළි කලාපය ප්‍රධාන වේ.



එවැනි ප්‍රදේශවලින් වාර්තා වෙන මැලේරියාව ආසාදිතයන් ඉහළ ගියහොත් නැවත වතාවක් රට තුළ මැලේරියා වසංගත තත්ත්වයක් දක්වා පැතිරීමට පුළුවන.



මැලේරියා රෝගය මාරාන්තික නමුදු සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත. කල් නොයවා රෝගය හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළ හොත් සංකූලතා වැඩි වී රෝගියා මිය යාමට පුළුවන.



එසේම රෝගී පුද්ගලයාගෙන් නිරෝගී පුද්ගලයන්ට රෝගය බෝවී කෙටි කලක් තුළ රට පුරාම පැති⁣රයාමේ අවදානමද පවතිනු ඇත. එනිසා රෝගී තත්ත්වය ඉක්මනින්ම හඳුනා ගැනීම අත්‍යවශ්‍යය.



මැලේරියා මදුරු දෂ්ටනයේදී පරපෝෂිතයා ශරීරයට ඇතුළු වී දින 07 ත් 14 ත් ඇතුළත සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පහළ වේ. ප්‍රධානම රෝග ලක්ෂණය උණ හට ගැනීම වන අතර හිසරදය, සීතල දැනීම, වෙව්ලීම, ඇඟපත වේදනාව, වියළි කැස්ස, දහදිය දැමීම, වමනය හා ආහාර අරුචිය අනෙකුත් රෝග ලක්ෂණය.



රෝග පරීක්ෂාවේදී රුධිර පරීක්ෂණ හරහා රුධිර පට්ටිකා අඩු වීම - රක්තහීනතාව, අක්මාව සහ ප්ලීහාව ඉදිමුව වැනි තත්ත්ව සොයා ගත හැකිය.



රෝගයේ උග්‍ර අවස්ථාව වනවිට වලිප්පුව, සිහි මඳ බව, ශ්වසන අපහසුතා මතු වීමට පුළුවන.



මැලේරියා රෝගය සඳහා වන ඖෂධ සහ පරීක්ෂණ රජය මගින් නොමිලයේ ලබා දේ. රෝගය සඳහා වන නිර්දේශිත කිසිදු ඖෂධයක් පෞද්ගලික ඖෂධසල් මගින් මිලදී ගත නොහැකිය. මන්ද සෑම රෝගියකුම නිසි ප්‍රතිකාර මුළුමනින්ම නිම කළ බවට තහවුරුවත්, රට තුළ නැවතත් මැලේරියාව පැතිරීම වැළැක්වීමත් යන කාරණා සැපිරිය යුතු බැවිනි.



කල් තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලදහොත් මාරාන්තික මැලේරියා රෝගයෙන් නිට්ටාවට සුවය ලබා ගත හැකිය. රෝගය ගැන වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංක වන 071- 2841767 සහ 011-7626626 හරහා ලබා ගත හැකිය.

views

462 Views

Comments

arrow-up