“ඒ අය ඉල්ලීම් දිනා ගනීවී අපිට පුතා නැතිවුණා” - දුම්රියට බිලි වූ ඉංජිනේරු සිසුවාගේ පියා කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
13

“ඒ අය ඉල්ලීම් දිනා ගනීවී අපිට පුතා නැතිවුණා” - දුම්රියට බිලි වූ ඉංජිනේරු සිසුවාගේ පියා කියූ කතාව

“ඒ අය ඉල්ලීම් දිනා ගනීවී අපිට පුතා නැතිවුණා” - දුම්රියට බිලි වූ ඉංජිනේරු සිසුවාගේ පියා කියූ කතාව

“කෝච්චි නැති නිසා අද (12) කැම්පස් යන්න එපා කියා පුතාට කිව්වත් වැඩක් තියෙනවා ඒ නිසා යන්න ඕනෑ කියලා පුතා පැවසූ නිසා මම යතුරුපැදියෙන් එයාව ගම්පහ ස්ටේෂන් එකට ගිහින් ඇරලුවා”…..

 

මහනුවර සිට කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක වහලය මත නැග ගමන් කරමින් සිටියදී රාගම හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරට ලක්වීමෙන් මියගිය මොරටුව ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලබන සිසුවාගේ පියා වන ඩබ්.ඩී. සුදත් පෙරේරා මහතා ඊයේ හුණුපිටිය දුම්රිය ස්ථානයේදී පැවසීය.

 

හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

“මට දරුවෝ සිව් දෙනෙක් සිටිනවා. හිටිය එකම පිරිමි දරුවා මෙයා. අනිත් තිදෙනාම ගැහැනු දරුවන්. අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව පුතා කිව්වා මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළත් විය යුතුයි කියා. පුතා මොරටුව කැම්පස් එකට යන්න පටන් ගත් දවසේ සිට හැමදාම උදේට මම එයාව මගේ යතුරුපැදියෙන් ගම්පහ ස්ටේෂන් එකට ඇරලවනවා. මම අද උදේත් මගේ යතුරුපැදියෙන් පුතාව ගම්පහ ස්ටේෂන් එකට ගිහින් ඇරලවා ආවේ. කෝච්චි රියැදුරන්ගේ වර්ජනය නිසා කෝච්චි නැතුව ස්ටේෂන් එකේ මහා ජනකායක් හිටියා. මම ගෙදර ගිහින් බිරිඳට කිව්වා නැවත පුතාට කෝල් කරලා කෝච්චි නැති නිසා ආපසු ගෙදර එන්න කියලා. එවිට බිරිඳ කිව්වා එයාට අද යොදාගත්ත වැඩක් තියෙනවා ඒ නිසා යන්නම ඕනෑ කියා කිවුවා කියලා. මගේ රත්තරං පුතා කවදාවත් කෝච්චියේ ඔහොම ගමන් කරන්නේ නැහැ. රියැදුරන්ගේ විරෝධතාවක් නිසයි පුතාට මේ දේ වුණේ. කවුද මේවාට වග කියන්නේ? එයාලා ඉල්ලීම් දිනා ගනියි. මට මගේ රත්තරං පුතා නැති වුණා”

 

ගම්පහ මොරගොඩ අඹගහවත්ත පොල්කොටුව පාරේ පදිංචිව සිටි ඩබ්. ඩී. දිනෙත් ඉඳුවර සසිත් පෙරේරා නමැති 18 හැවිරිදි ඉංජිනේරු සිසුවා ඊයේ (12) උදේ දුම්රිය වහලය මත ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් මෙසේ මියගොස් තිබේ. දුම්රිය වහලය මත ගමන් කරමින් සිටි මියගිය සිසුවාගේ හිස හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටීමෙන් ඔහු අනතුරට ලක්ව මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

 

මියගිය ඉංජිනේරු සිසුවාගේ මළසිරුර ඔහු ගමන් ගත් දුම්රියේ රැගෙන ගොස් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදීමට දුම්රිය සේවකයින් කටයුතු කර තිබූ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. පසුව කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරින් විසින් හුණුපිටිය දුම්රිය ස්ථානයේ තිබූ එම මළසිරුර රාගම රෝහල වෙත භාරදීමට කටයුතු කර තිබුණි.

 

එම ඉංජිනේරු සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පැවත්වීමට නියමිතව තිබුණි.

views

353 Views

Comments

arrow-up