“ආදරේ කොච්චර වැදගත් ද කියන එක මම අත්දකින කෙනෙක්, අපිට දෙයක් නැතිවුණාම අපි ඒකම හොයනවා” - ටිලානි මහමාලගේ

සිහිනයකි දෙපා නැති චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගිය 16 වැනිදා කොළඹ PVR සිනමා ශාලාවේදී පැවැත් වුණා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ පරාක්‍රම නිරිඇල්ල. ඒ එක්කම “සිහිනයකි දෙපා නැති” චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච් ඩී ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ විසින්. “සිහිනයකි දෙපානැති” චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ චරිත දෙකක් ඔස්සේ පමණක් ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම. මෙහි චරිත මවන්නේ අන්කේ ලෙසින් සංජිව උපේන්ද්‍ර සහ වසන්තා ලෙසින් ටිලානි මහමාලගේ. රසදුන මේ කතාබහ වසන්තාගේ චරිතය රඟපෑ ටිලානි මහමාලගේ සමඟ
“සිහිනයකි දෙපා නැති” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වුණා, ඔබ ඔබවම යළි පුළුල් තිරයේ දකිද්දී මොකද හිතුණේ?
මගේ ජිවිතේ මම සතුටුම වුණු දවසක් තමයි 2025 මාර්තු 16 කියන්නේ. මාව පරාක්‍රම නිරිඇල්ල සර් “සිහිනයකි දෙපා නැති“ චිත්‍රපටයේ වසන්තාගේ චරිතයට තෝරා ගත්තා කියපු දවසේ ඉඳන් රූගත කිරීම් කරලා සංස්කරණය කරලා පුළුල් තිරයේ දකින්න වසරක් වගේ කාලයක් ගතවුණා. ඒ කාලය මම හිටියේ හරිම නොසන්සුන් විදියට. රංගන ශිල්පිනියක් විදියට මොනවම හරි දෙයක් කරන්න ඕනේ කියන හැඟීම මට තිබ්බා. මගේ හැකියාවන් පෙන්නුම් කරන්න මට ගොඩක් කාලයක් බලන් ඉන්න වුණා. විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරන්න ඕනේ මට වසන්තාගේ චරිතය දුන් පරාක්‍රම නිරිඇල්ල සර්ව. එතුමාට මගේ රංගනය ගැන තිබ්බ විශ්වාසය නිසයි මට මෙවැනි බැරෑරුම් චරිතයක් දුන්නේ. මම හිතනවා සර් මා කෙරෙහි තබපු විශ්වාසයට මට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වුණා කියලා. ඒ එකක්ම “සිහිනයකි දෙපා නැති” චිත්‍රපටයට සම්බන්ධ වුණු සියලුම ශිල්පින්ව බොහොම ආදරෙන් මේ මොහොතේ මතක් කරනවා.
ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන්ගේ ප්‍රතිචාර ලැබුණා, ඒ අත්දැකීම කොහොමද?
තාමත් මම ඉන්නේ සතුටින්. මම කාලයක් බලන් හිටියා මේ දේ දකින්න. මගේ ඒ ඉවසීමට ලැබුණු දෙයක් හැටියට මම දකින්නේ. මට දැනුණු හැඟීම වචන කරන්න බැහැ. මගේ සැබෑ ජීවිතේ තිබුණු ඉවසීම දරාගැනීමම මම හිතන්නේ වසන්තා තුළත් තිබුණා.
වසන්තා වෙනුවෙන් කොච්චර කාලයක් කැප කළා ද?
මේ චරිතය කරන්න කලින් මම මාස තුනක වගේ කාලයක් මේ වෙනුවෙන් පුහුණුවීම් කළා.
ධර්මසිරි බණ්ඩාරනායක වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්, රවින්ද්‍ර රන්දෙණිය වැනි ප්‍රවීණ රංගධරයෙක් ඔබේ අත අල්ලන් කිව්වේ මොනවද?
මගේ චරිත නිරුපණය ගැන සහ මම චරිතය වෙනුවෙන් කරලා තියෙන ඒ කැපවීම ගැන සතුටුයි කියන එක. ඒ එක්කම ඒ හැමෝම මගෙන් ඇහුවේ වසන්තාගේ චරිතය වෙනුවෙන් ඒ විදියට ඉඳගත්තේ කොහොමද කියන එක. ශාරීරිකව ඒ වෙනුවෙන් වුණු සූදානම් වීම ගැන හිතාගන්න බැහැ කියන එක සහ ශාරීරිකව සහ මානසිකව බැලන්ස් කළේ කොහොමද කියන එක.
ටිලානි ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?
2004 දී ලාල් ප්‍රියදේව මහතා අධ්‍යක්ෂණය කළ ‘අලි පැටියෝ ඔයයි මමයි’ චිත්‍රපටය හරහා තමයි මම කලාවට යොමු වෙන්නේ. මේ වෙද්දී කලාවට ඇවිත් වසර 21ක් වෙනවා.
මේ වසර 21 තුළ කළ නිර්මාණ මොනවද?
“සුහද කොකා, අපේ යාළු පුංචි මාළු“ වැනි චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වුණා. ඒ එක්කම හොඳ ටෙලි නිර්මාණ 5කට වගේ මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. හොඳ චරිත මට ලැබුණට මම හිතනවා නිළියක් විදියට වාසනාව කියන එක ප්‍රබලම කාරණාවක් කියලා. දක්ෂතාව තියෙන්න ඕනේ. හැබැයි ඒ මොනවා තිබුණත් වාසනාව නැත්නම් වැඩක් නැහැ. කලාව කියන්නේ මුළු ලෝකෙම තියෙන වාසනාවන්තම ක්ෂේත්‍රයක්. මම චරිත කරලා නැතුව නෙවෙයි, විවිධ චරිත කළා. නමුත් මිනිසුන් අතරට යන්න හේතු වුණේ නැහැ.
ටිලානිගේ ළමා කාලය ගත වෙන්නේ කොහොමද?
මගේ ගම කළුතර. මම පුංචි කාලේ ඉඳන් හැදෙන්නේ මගේ ආච්චි ළඟ. මට ආච්චිලා තුන්දෙනෙක්ම හිටියා. ලොකු පවුලක්. මම පාසල් ගියේ කළුතර සෙන් ජෝන් එකට. අවුරුදු 16ක්ම ආච්චිගේ ආදරය, රැකවරණය එක්ක හැදුණේ. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ කරන්න වත්තල ගුඩ් ෂෙපර්ඩ් බාලිකා මහා විද්‍යාලයට ගියා.
කවදා හරි නිළියක් වෙන්න ද හිතුවේ?
එහෙම නැහැ. පාසල් යන කාලේ මම අධ්‍යාපනය පැත්තෙන් වගේම කථික තරග පද්‍ය ගායනා තරග, නාට්‍ය තරගවලට වගේම ක්‍රීඩාව පැත්තෙනුත් කැපී පෙනුණු ශිෂ්‍යාවක්. නමුත් පෞද්ගලික ජිවිතේ යම් යම් හේතුකාරණා නිසා අධ්‍යාපනය දිගටම කරගෙන යන්න බැරි වෙනවා. කවදා හරි නිළියක් වෙනවා කියන එක මගේ හිතේ තිබුෙණ් නෑ. මේ ගමනේ ආරම්භය ඇත්තෙන්ම අහම්බයක්. පවුලේ හිතවතෙක්ගේ මාර්ගයෙන් මට ලාල් ප්‍රියදේව මහතා හමුවෙන්නේ. ඒ හරහා ඔහු මට ඔහුගේ නිර්මාණයට අවස්ථාව ලබා දෙනවා. එතැනින් පස්සේ තමයි මට කලාව දිගටම කරන්න ආසාවක් ඇතිවෙන්නේ.
ඔබ කුඩා කාලයේ පටන්ම හැදුණේ මිත්තනිය සමඟ ඇය සතුටු වුණා ද ඔබ නිළියක් වුණාට?
මම ආච්චි එක්ක තනියම හැදුණු කෙනෙක්. වසර කිහිපයකට පෙර එයත් නැති වුණා. මේ කාලයේ ජිවන අරගල එක්ක කාලය ගතවෙලා යනවා.
ආච්චි දැක්කා මම කලා නිර්මාණවලට සම්බන්ධ වෙනවා. නමුත් එයා මා ගැන සතුටුද නැද්ද කියන්න අපි කතා කරලා නැහැ. එයාගේ හිතේ ආසාවක් තියෙන්න ඇති මම හොඳ තැනක ඉන්නවා දකින්න.
තනියම හැදුණු කෙනෙක් විදියට ජිවිතය කියවාගෙන තියෙන්නේ කොහොමද?
මගේ මුළු ජීවිතේම කවුරුත් හිටියේ නැහැ. දරුවකුට ආදරේ කියන එක හරිම වැදගත්. ඒ ආදරේ කොච්චර වැදගත් ද කියන එක මම අත්දකින කෙනෙක්. අපිට දෙයක් නැතිවුණාම අපි ඒකම හොයනවා. අපි පරිණත වෙද්දී තේරෙනවා නැති දේ හොයන එක තේරුමක් නැහැ කියලා. හැබැයි ඒක අවබෝධ වෙද්දී ඒ නැති දේම හොයලා අපි අතරමංවෙලා ඉවරයි. ජීවිතේට ප්‍රශ්න එනවා. ඒවාට මුහුණදෙන්න තනියම මම හොයා ගත්තා. මගේ ප්‍රශ්න කා එක්කවත් කතා කරන්නේ නැහැ. ඒ කාලේ ඉඳන්ම මට ප්‍රශ්නයක් ආවම තනියම කතා කරන කෙනෙක්. මොකක් හරි ප්‍රශ්නයක් ආවම එළියට ගිහින් මම සොබා දහම එක්කම කතා කරන කෙනෙක්. ජීවිතේ ගැන අපිට කලින් හිතන්නවත්, වෙන්න තියෙන දේ වෙනස් කරන්නවත් බැහැ. අභියෝගයක් ආවට පස්සේ ඒ අභියෝගයට මුහුණ දෙන්න හිතනවා. ජිවිතේට එන ප්‍රශ්නවලට උත්තර මම හොයා ගන්නවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද?
කරපු නිර්මාණ නම් නැහැ. පරාක්‍රම සර්ගේ ඊළඟ නිර්මාණයටත් මට ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
75 Views
Comments