අට දෙනෙකුට ජීවිත දානය දී මෙලොවින් සමුගත් නිව්ටන් ප්‍රදීප්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

අට දෙනෙකුට ජීවිත දානය දී මෙලොවින් සමුගත් නිව්ටන් ප්‍රදීප්

අට දෙනෙකුට ජීවිත දානය දී මෙලොවින් සමුගත් නිව්ටන් ප්‍රදීප්

මොළය සම්පුර්ණයෙන්ම මිය ගිය 49 හැවිරිදි පුද්ගලයකුගේ නිරෝගි අවයව තවත් ජීවිත අටක් බේරා ගැනීම සඳහා ලබා ගැනීමේ සැත්තකම හම්බන්තොට මහා රෝහලේ දී සාර්ථකව සිදුකළ බව හම්බන්තොට මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. ශල්‍යකර්මයකින් මෙසේ ලබා ගන්නා ලද වකුගඩු දෙක රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කිරීම සිදුකළ බවද ඇය පැවසුවාය.

 

ඉකුත් ජුනි මාසයේ දිනක තදබල හිසේ කැක්කමක් හේතුවෙන් මෙම රෝගියා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකරන ලද ස්කෑන් පරීක්ෂණයකට අනුව මොළය තුළ රුධිර වාහනය වීමක් සිදුව ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව රෝගියාගේ මොළයේ සැත්කමක් සඳහා කරාපිටිය මහා රෝහලට යොමු කිරීමෙන් පසු සැත්කමකට භාජනය කර තිබේ.

 

පසුව රෝගියා නැවැත හම්බන්තොට මහා රෝහලට එවීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. එහිදී පියවි සිහිය නොලැබූ රෝගියාගේ මොළයට සිදුව ඇති තදබල හානි හේතුවෙන් මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර ගෙන තිබේ පසුව එම රෝගියාගේ බිරිඳ හා ඥතින් දැනුවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.

 

ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සිටි එම රෝගියාගේ බිරිඳ සහ ඥාතීන්ගේ අවසරය මත රෝගියාගේ වකුගඩු දෙක ඇතුඵ අවයව ලබා ගැනීමේ සැත්කමක් පසුගිය 08 දින සිදු කර තිබේ.

 

මොළය මියගිය රෝගියාගේ බිරිඳගේ සහ ඥාතීන්ගේ අවසරය මත වකුගඩු හා අවයව ලබා ගැනීමේ සැත්කම නහර සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ඩී. එම් ජී. අමරසිංහ මහතා ප්‍රමුඛ හම්බන්තොට මහා රෝහලේ කායික රෝග විශේෂඥ කසුන් ප්‍රහාසර, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිරෝෂකද සිල්වා, වෛද්‍ය මනෝෂ් ප්‍රියන්ත ශල්‍යගාරයේ සියලු කාර්ය මණ්ඩලය විසින් සිදුකර තිබේ.

 

මෙම සැත්කම පිළිබඳව අදහස් දැක්වු හම්බන්තොට මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ මොළය මිය ගොස් සිටින ඕනෑම පුද්ගලයකුගෙන් ඉතාම කඩිනමින් රෝගියාගේ පාර්ශවයේ සිය කැමැත්ත මත බද්ධ කළ හැකි අවයව වන හෘදය වස්තුව, අක්මාව, වකුගඩු, පෙනහඵ, බඩවැල්, අග්න්‍යාසය වැනි අවයව ලබා ගතහොත් රෝගීන් 08 දෙනෙකු ජීවත් කිරීමට හැකි බවය.

 

මේ පිළිබඳව මොළය මිය ගිය රෝගියාගේ බිරිඳ වන හම්බන්තොට මානජ්ජිවාව මැඩිල්ල ප්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා කුමුදුනි මහත්මිය ප්‍රකාශ කළේ තම ස්වාමි පුරුෂයා හම්බන්තොට සිමෙන්ති කර්මානේත ශාලාවේ සේවය කළ බවය. එහි සේවය කරන අතර තුර එදින දහවල් කෑමට හදන විට තදබල හිසේ කැක්කුමක් හැදී තිබෙන බවත්, ඒ වෙලාවේම ඔහු රෝහලට ඇතුල් කිරීමට පියවර ගෙන තිබුණ බවත්ය.

 

රෝහලේ දී දැන ගන්නට ලැබුනේ මහත්තයාගේ මොළයේ නහරයක් පිපිරිලා ලේ වහනය වන බවයි.

 

 

හම්බන්තොට රෝහලෙන් කරාපිටිය රෝහලට යවා මොළයේ සැත්කමක් සිදුකර නැවැත හම්බන්තොට රෝහලට එවා තිබූ බවද ඇය පැවැසුවාය.

 

 

එහිදී මගේ මහත්තයගේ මොළය මැරිල කියල වෛද්‍යවරුන් පැවැසූ බවත් ජීවත් වෙන්න තිබෙන තත්වය එන්න එන්නම අඩු බවද කියූ බවය. මහත්තයාගේ ශරීරයේ තිබෙන අවයව ටිකෙන් ටික මිය යන බැවින් වකුගඩු දෙක ලබා ගතහොත් තවත් ජීවිත දෙකක් බේරගන්න පුඵවන් බව වෛද්‍යවරුන් පැවැසු බව ඇය සඳහන් කළාය.

 

මගේ මහත්තයගේ නාමයෙන් මමත් දරුවෝත් පවුලේ අනෙක් අයගේත් කැමැත්ත පළකලා ශරීරයේ කොටස් ලබා දෙන්නට, මගේ මහත්තයා වෙනුවෙන් නොදන්න තවත් රෝගීන් ජීවත් කරවන්ට පාරමිතාවක් පුරන්නට මට සිදුවුණා. තවත් කිසිම කලක මෙවන් අකල් මරණයක් මගේ මහත්තයට අත් නොවේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා යැයි ඇය හැඳු කඳුලෙන් පැවසුවාය.

views

285 Views

Comments

arrow-up