“මම රෑට කන්නෙ හවස 5.30 ට වගේ” - දරුවො එක්ක ගෙවන ජීවිතේ ගැන අනුෂ්කා කියන කතාව

අනුෂ්කා ඉන්දියාවට ඇවිත් !!
මීට ඉස්සර නම් මේක නිවුස් එකක් හෝ පුදුමයට කාරණාවක් වුණේ නෑ.
නමුත් කෝලි - අනුෂ්කා යුවළ දියණිය වමිකා සහ අලුත උපන් පුතු අකායි එක්ක, ඉන්දියාව අතැර බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය බවට කතාවක් පැතිරෙන්න ගත්ත නිසාම අනුෂ්කා ඉන්දියාවට ආව එක මේ වෙද්දි කවුරු අතරත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.
එහෙම ඉන්දියාව බලා ආව ඇය පහුගිය දවසක මුම්බායි හි උත්සවයකට එක්කාසුව තිබුණා.
එහි විශේෂත්වය නම්, අනුෂ්කා එතනදී 'ආහාර' ගැන 'ආහාර රටා' ගැන වගේම 'දේශීය ආහාර' සම්බන්ධව කතාබහක නිරත වීම.
ඇය කියන හැටියට දියණියගේ පහසුව ගැන හිතලා, වේලාසනින් ම රෑ කෑම ගන්නා පුරුද්දක් ඇයට ඇවිත්.
"ඒක පටන් ගත්තෙ පහසුවට.
මගේ දුවට හවස 5:30 ට වගේ වේලාසනින් රාත්‍රී ආහාරය අවශ්‍ය වුණා.
සාමාන්‍යයෙන් වැඩියෙන් ම ගෙදර හිටියෙ අපි දෙන්නා විතරයි.
ඉතින්, මම හිතුවා ඇයි අපි එකට කන්නේ නැත්තේ කියලා..."
අන්න ඒ විදියට තමයි ඇයටත් වේලාසන ම රෑ කෑම ගන්නා පුරුද්ද ඇවිත් තියෙන්නෙ.
අනුෂ්කා නම් කියන්නෙ ඒ වැඩෙන් තමන්ට වාසි මහ හුඟක් ලැබුණු බව.
"මම ඒකේ වාසි දකින්න පටන් ගත්තා. මම හොඳින් නිදාගත්තා.
ඒකෙන් නැවුම් බවක් දැනුණා...."
මේ කතාබහ අතරතුර ඇය බෙදාගත් තවත් වැදගත් කාරණාවක් තමයි, දරුවො වෙනුවෙන් ගෙදර දී තමන්ගෙම අතින් හැදෙන කෑම වට්ටෝරු.
එතනදි ඇය විශේෂ කරලා තිබුණා 'පවුලේ සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු අනාගත පරපුරට ලබාදීම' වෙනුවෙන් නිතර උත්සාහ ගන්නා බව.
''අපි මුලින් ම සාකච්ඡා කළා අපේ අම්මලා ගෙදර හදපු කෑම වට්ටෝරු අපේ දරුවන්ටත් දෙන්න.
ඉතින්, සමහර වෙලාවට මම උයනවා. සමහර වෙලාවට සැමියා කෑම හදනවා.
අපි ඇත්තටම උත්සාහ කරන්නෙ අපේ දෙමව්පියන් කළ විදියම අනුකරණය කරන්න.
මම අම්මට කතා කරලා රෙසිපි ඉල්ලගන්නවා.
ඒක හරියට ඔබ ඔබේ දරුවන්ට වටිනා දෙයක් ලබාදෙනවා වගේ...''
ඒ වගේම නිතර සංචාරය කරන පවුලක් හැටියට දින චර්‍යාවක් පවත්වාගෙන ආකාරය ගැනත් අනුෂ්කා කතා කරලා තිබුණා.
''මට දින චර්‍යාව හරි විශේෂයි.
අපි පවුලක් විදියට බොහෝ සංචාරයන් කරන නිසා මගේ දරුවන් ඔවුන්ගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් අත්විඳිනවා.
ඔවුන්ට කෑම වේලක් නියම කරලා තියෙන්නෙ.
කොහේ හිටියත්, අපි එකම වේලාවක ආහාර ගන්නවා වගේම එකම වේලාවක නිදා ගන්නවා...''
1166 Views
Comments