ජන හදවත් දිනූ වේල්සයේ රෝස කුසුම මිලිනව ගොස් වසර 27ක් - ඩයනා කුමරියගේ මතකාවර්ජනය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

ජන හදවත් දිනූ වේල්සයේ රෝස කුසුම මිලිනව ගොස් වසර 27ක් - ඩයනා කුමරියගේ මතකාවර්ජනය (PHOTOS)

ජන හදවත් දිනූ වේල්සයේ රෝස කුසුම මිලිනව ගොස් වසර 27ක් - ඩයනා කුමරියගේ මතකාවර්ජනය (PHOTOS)

අද අගෝස්තු 31 !

 

මේ දිනය බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේත් වඩාත් වැදගත්, සුවිශේෂී දිනයක් වෙනවා.

 

ඒ, ලොවක් වසඟ කළ 'බ්‍රිතාන්‍යයේ රෝස කුසුම' මැයෙන් කාගෙත් ආදරය දිනූ ඩයනා කුමරිය (Princess Of Wales) මිය ගියේ අද වැනි දිනක වීම නිසාවෙන්.

 

1997 අගෝස්තු 31.... ඒ, තමයි ලොවක් කම්පා කළ සංවේදී දිනය. අදට ඇය මියගොස් වසර 27ක් සපිරෙනවා.

 

 

1961 වසරේ රදළ පවුලක උපත ලද ඩයනා කුමරිය නොහොත් වේල්ස් කුමරිය, බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ පළමු බිරිඳ සේ ම විලියම් - හැරී දෙන්නාගේ මවයි.

 

 

ඉතා සැහැල්ලු දිවිපෙවෙතක් ගෙවූ ඇයට සිය ජීවිතය වෙනස් කළ චරිතය වන බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු හමුවන්නේ 1980 වසරේදී.

 

දෙපාර්ශවයේම ආශිර්වාදය මත චාල්ස් - ඩයනා යුවළ 1981දී විවාහ දිවියට පිවිසෙන්නේ, ''සියවසේ විවාහය'' මැයෙන් ලොවක අවදානය දිනාගනිමින්.

 

කාලයත් එක්ක විලියම් - හැරී දෙන්නගෙ දෙමාපියන් වන ඔවුන්, සිය පවුල් ජීවිතය සතුටුදායකව නොගෙවූ බව ලොවම දන්නා කාරණාවක්.

 

ඊට ප්‍රධානතම හේතුව චාල්ස් - කැමිලා ප්‍රේමය බවත් ප්‍රසිද්ධ කතාවක්.

 

කොහොම නමුත් පසුකාලීනව, ඒ කියන්නෙ 1996 වසරේ දී ඩයනා කුමරිය විවාහ දිවියට සමුදෙනවා.

 

එතැන් පටන් ඇය සිය කාලය මුලුමනින්ම පාහේ වෙන්කරන්නේ සුබසාධන කටයුතු වෙනුවෙන්.

 

 

‍රජ පවුලේ කෙනෙක් වුණාට මොකද, ඩයනා කියන නම කවුරුත් වැළඳගන්නෙ ඇගේ ඒ සමාජ සත්කාර කටයුතුත් එක්ක.

 

සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයකින් ඇය ජනතාව අතරට යාමයි කාගෙත් ආදරය ලැබීමට ප්‍රධානතම සාධකය වුණේ.

 

ඒ අතර ළමයින් සහ තරුණයින් හට අනුග්‍රහය දැක්වීම, ඒඩ්ස් රෝගීන් හට සමාජයේ පිළිගැනීමක් ලබාදීම, පිළිකා සහ මානසික රෝගවලින් පීඩා විඳි පුද්ගලයින්ට උපකාර කිරීම, බිම්බෝම්බ ඉවත් කිරීම යන ව්‍යාපෘති සුවිශේෂීයි.

 

මේ කරුණු හැරුණාම ඇයගේ රුවට වශී වූවන් සෑහෙන්න. ඇය ''බ්‍රිතාන්‍යයේ රෝස කුසුම'' වෙන්නෙත් ඒ නිසාමයි.

 

 

ඩයනා කුමරිය ගැන, ඇගේ ජීවිතය සහ මරණය ගැන අදටත් කතා රැසකි.

 

1997 දී පැරිස් උමගක සිදුවූ රිය අනතුරකින් ඇය මියයන විට ගැබ්ගෙන සිටි බවත් එම දරුවා ඇයගේ පෙම්වතාගේ බවත් එය රජ පවුලට අවමානයක් ලෙස දැනගෙන හිතාමතා කළ අනතුරක් බවත් බොහෝදෙනා අතර පවතින මතයක්.

 

ඒ කොහොම නමුත් ඇය අදටත් හදවත් අතර සැරිසරන විත්තිය නම් පිළිගන්නම වෙනවා.

 

1980 - 90 දශකයේ දී වැඩිම ඡායාරූප ගණනකට මුහුණදුන් කාන්තාව වෙන්නෙත් ඩයනා කුමරිය.

 

ලෝකයේ කොහේ උන්නත් පැපරාසි ඇස් තිබුණේ ඇය ළඟ.

 

අවසන, ඒ අසීමිත - අසාමාන්‍ය ජනප්‍රියත්වයම තමයි ඈට මරු කැඳවන්නෙත්.

 

ඩයනා කුමරිය සහ ඇගේ පෙම්වතා වුණු ඩොඩී අල් ෆයිඩ් රැගත් මර්සඩීස් මෝටර් රථය 1997 වසරේ අගෝස්තු මාසයේ 31 වැනිදා ප්‍රංශයේ පොන්ට් ඩේ ඉලාමා උමඟ තුළදී අනතුරට පත්වෙන්නෙ පැපරාසීන්ගෙන් පලායාමට ගත් උත්සාහයකදී බව කියවෙනවා.

 

එහිදී වුණු බරපතළ අනතුරු එක්ක 36 හැවිරිදි වියේ පසු වූ ඩයනාත් පෙම්වතා වුණු ඩොඩී දෙන්නම අවසන් ගමන් යනවා.

 

එලෙස අකාලයේ මිලින වී ගිය වේල්සයේ රෝස කුසුම වෙනුවෙන් අවමංගල උත්සවය, මහා ඉහළින් ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත් වුණා.

 

පසුව ඇයගේ දේහය ස්පෙන්සර් පවුලට අයත් වතු යායකදීයි මිහිදන් කෙරුණෙ.

 

එලෙස ඇය අවසන් ගමන් ගියත් අදටත් ඈ වෙනුවෙන් සංවේදී වෙන හදවත් බොහෝයි....

views

333 Views

Comments

arrow-up