පිළිකා ප්‍රතිකාර අවසන් වීමෙන් පසු කේට් කුමරිය නැවතත් රාජකීය සේවයට - ඉදිරියේදී තවත් වැඩ කටයුතු කිහිපයක්ම

වේල්සයේ කුමරිය හෙවත් කේට් කුමරිය නැවත සිය රාජකීය සේවාවන් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ, ඇගේ පිළිකා ප්‍රතිකාර අවසන් වීමෙන් පසු පළමු වරටයි.
මාර්තු 22 වන දින සිය පිළිකා රෝග විනිශ්චය නිවේදනය කළ ඇය පසුගියදා (සැප්තැම්බර් 9) වීඩියෝවක් නිකුත් කරමින්, සිය රසායනික චිකිත්සාව සම්පූර්ණ කර ඇති බව දැනුම් දී තිබුණා.
එමෙන්ම ඇය එහි සඳහන් කර තිබුණේ, ඉදිරි මාසවලදී ක්‍රමයෙන් නැවත පොදු ජීවිතයට පැමිණීමට සැලසුම් කරන බවයි.
ඒ අනුව කේට් කුමරිය ඇගේ 'මුල් ළමාවිය ව්‍යාපෘතිය' පිළිබඳව සාකච්ඡා කිරීමට වින්ඩ්සර් කාසල් හි මුල් ළමාවිය සඳහා වූ මධ්‍යස්ථානය සහ කෙන්සිංටන් මාලිගාවේ කාර්ය මණ්ඩලය හමුවී ඇති බව සඳහන්.
රාජකීය පවුලේ නිල වෙබ් අඩවියට අනුව එම ව්‍යාපෘතිය මගින් මුල් ළමා කාලයේ අත්දැකීම්, පවුල් බිඳවැටීම, දුර්වල මානසික සෞඛ්‍යය, සියදිවි නසාගැනීම් සහ නිවාස නොමැතිකම වැනි දුෂ්කර සමාජ අභියෝගවලට මූලික හේතු විමර්ශනය කරයි.
කුමරිය රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබන කාලය අතරතුර නිවසේ සිට වැඩ කිරීමටත් කටයුතු කර තිබුණා.
මීට ඉහත කේට් කුමරිය Trooping the Color සහ විම්බල්ඩන් හිදී ප්‍රසිද්ධියේ පෙනී සිටියා.
එමෙන්ම නොවැම්බර් 10 වැනිදා ඇය සහභාගී වන උත්සවයක් පිළිබඳව ද විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඊට අමතරව ඈ ඊළඟ මාසයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි වාර්ෂික කැරොල් ප්‍රසංගය පැවැත්වීමට සැලසුම් කරන බවත් සඳහන්.
ඒ අනුව කුමරිය ඇයට පහසු ආකාරයට රාජකීය රාජකාරිවලට සහභාගී වනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
212 Views
Comments