2024 බුකර් ත්‍යාගය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හා(ර්)වි දිනාගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

2024 බුකර් ත්‍යාගය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හා(ර්)වි දිනාගනියි

2024 බුකර් ත්‍යාගය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හා(ර්)වි දිනාගනියි

මෙවර බුකර් ත්‍යාගය (2024 Booker Prize award) දිනාගැනීමට බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හා(ර්)වි (Samantha Harvey) සමත්ව තිබෙනවා.

 

ඒ, ඇයගේ නවකතාව වන ''ඕර්බිටල්'' (Orbital) කෘතිය වෙනුවෙන්.

 

මෙම කෘතිය, බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද පළමු අභ්‍යවකාශය හා සම්බන්ධ කෘතිය වීම විශේෂය.

 

එමෙන්ම හා(ර්)විගේ පස්වන නවකතාව වන පිටු 136 කින් යුත් ඕර්බිටල්, බුකර් ත්‍යාගය දිනූ දෙවන කෙටිම කෘතිය ලෙසද ඉතිහාසයට එක් වේ.

 

මීට පෙර මෙම ත්‍යාගය දිනූ කෙටිම කෘතිය වූයේ, පිටු 132 කින් යුත් Penelope Fitzgerald විසින් රචිත Offshore (1979 දී) කෘතියයි.

 

ඕර්බිටල්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින පිරිමි ගගනගාමීන් දෙදෙනකු සහ කාන්තා ගගනගාමීන් සිවුදෙනකු මුහුණදෙන අත්දැකීම් වටා ගෙතුණු කෘතියකි.

 

හා(ර්)වි මෙය රචනා කර ඇත්තේ, COVID-19 අගුලු දැමීම් අතරතුර කාලයේදී බව සඳහන්.

 

විදෙස් වාර්තාවන්ට අනුව, සමන්තා හා(ර්)විගේ ඕර්බිටල් එක්සත් රාජධානියේ වැඩියෙන්ම අලෙවි වූ කෘතීන් අතර ද වේ.

 

මෙවර සම්මානයේ තවත් විශේෂත්වයක් නම්, 2019 වසරේ සිට මෙම සම්මානය දිනාගත් පළමු කාන්තාව හා(ර්)වි වීමයි.

 

 

ලන්ඩනයේ ඕල්ඩ් බිලින්ග්ගේට් හි පැවති උත්සවයකදී ඇය මෙලෙස බුකර් සම්මානයෙන් පිදුම් ලද අතර, සම්මානයට අමතරව ඇයට පවුම් 50,000 ක ත්‍යාග‍යක් ද හිමිව තිබුණා.

 

සම්මානය ලබාගනිමින් ඇය විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, එය තම ජීවිතය වෙනස් කරනු ඇති බවයි.

 

එමෙන්ම තමන්ට ලැබුණු මූල්‍යමය ත්‍යාගය අලුත් බයිසිකලයක් මිලදී ගැනීමට වියදම් කරන බවයි, හා(ර්)වි පවසා තිබුණේ.

 

ඇයගේ පළමු නවකතාව වන The Wilderness කෘතියද බුකර් ත්‍යාගය සඳහා 2009 වසරේදී නිර්දේශව තිබුණා.

 

 

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙවර බුකර් ත්‍යාගය වෙනුවෙන් නිර්දේශිත ලැයිස්තුවට කාන්තාවන් පස් දෙනෙකු ඇතුළත් වූ බවයි.

 

ඒ අනුව මෙය වසර 55ක බුකර් ඉතිහාසය තුළ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් නියෝජනය කළ ලැයිස්තුව ද වේ.

 

අනෙකුත් නිර්දේශීත නාම :

  • James - Percival Everett (US)

  • Creation Lake - Rachel Kushner (US)

  • Held - Anne Michaels (Canada)

  • The Safekeep - Yael van der Wouden (Netherlands)

  • Stone Yard Devotion - Charlotte Wood (Australia)

ලෝකයේ ඕනෑම තැනක සිටින කතුවරුන් විසින් ඉංග්‍රීසියෙන් ලියා ඇති සහ එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රබන්ධ කෘති සඳහා මෙම අගනා බුකර් ත්‍යාගය විවෘත‍ය.

 

views

186 Views

Comments

arrow-up