“අම්මා ගෙදර එන්න බඩු ලෑස්ති කරන හැටි වීඩියෝවකින් පෙන්නුවා”‍ - කුවේට්හිදී අවසන් ගමන් ගිය මවකගේ කඳුළු කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

“අම්මා ගෙදර එන්න බඩු ලෑස්ති කරන හැටි වීඩියෝවකින් පෙන්නුවා”‍ - කුවේට්හිදී අවසන් ගමන් ගිය මවකගේ කඳුළු කතාව (PHOTOS)

“අම්මා ගෙදර එන්න බඩු ලෑස්ති කරන හැටි වීඩියෝවකින් පෙන්නුවා”‍ - කුවේට්හිදී අවසන් ගමන් ගිය මවකගේ කඳුළු කතාව (PHOTOS)

කුවේට් රාජ්‍යයේ වසර 7කට වැඩි කාලයක් ගෘහ සේවයේ නිරතව සිට නැවත මව්රටට පැමිණීමට සූදානම්ව සිටි දිනයේම ගෘහසේවිකාවක් ගෙල වැලලාගෙන මිය ගොස් ඇතැයි කියන පුවතක් මාතලේ යටවත්ත ප්‍රදේශයෙන් ලෝක කම්කරු දිනය දා වාර්තා විය.


මේ කාන්තාවගේ මරණය ගැන බරපතළ සැක මතුවන බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ලෝකවාසී ගෘහ සේවිකාවන්ට සාධාරණය ඉටු කර දෙන්නැයි මියගිය ගෘහ සේවිකාවගේ ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.


මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාතලේ, යටවත්ත, මාරගස්යාය, උඩස්ගිරිය, ප්‍රදේශයේ පදිංචි පී. ජි.අනෝමා (50) නමැති එක්දරු මවකි.


ඉකුත් අප්‍රේල් 25 වැනි දින තම මෑණියන් වසර හතකට පසු නිවෙසට පැමිණීමට සූදානම් බවත් ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබාගෙන තම දරුවන් දෙදෙනාට මෙන්ම තමන්ට ද තෑගි බෝග සූදානම් කර 26 වැනි දින බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණෙන බව දැනුම් දී තිබුණේයැයි මියගිය ගෘහ සේවිකාවගේ එකම පුතා වන චතුරංග ධම්මික සරියානන්ද (31) මහතා පැවසීය.


තම මෑණියන් 25 වැනි දින පස්වරුවේ කුවේට්හි සේවය කළ නිවෙසේ සිට වට්ස් ඇප් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැමිණීමට අවශ්‍ය බඩු බාහිරාදිය සූදානම් කරන ආකාරය පෙන්වමින් මුළු පවුලේ අය සමඟ කතා කර පැමිණීමේ ප්‍රීතිය කියා පෑ බවත් පසුදා වෑන් රථයකින් තමන් රැගෙන යෑමට බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණෙන ලෙසත් දැනුම් දී මඟ වියදම් පවා එවා තිබුණු බව ඔහු පවසයි.


ඒ අනුව තමා සහ පවුලේ අය වෑන් රථයක් කුලියට ගෙන් 26 වැනිදින තම මව රැගෙන යෑමට ගුවන් තොටුපොළට පැමිණියද මව පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය පැමිණිය ද තම මව එහි නොපැමිණි බව චතුරංග කියයි.


වහා කලබලයට පත්ව වූ තමා ගුවන්තොටුපොළ බලධාරීන්ගෙන් විමසීමක් කළ ද ඊට නිසි පිළිතුරක් නොලැබුණු නිසා කටුනායක පොලිසියේ පැමිණිල්ලක් කර ගුවන් තොටුපොළෙන් ඒ පිළිබඳව විමසීමේදී කාන්තාව කුවේට් රාජ්‍යයෙන් ගුවන් යානයට ගොඩ වී නැති බව අනාවරණය වී තිබුණු බව ඔහු කියයි.


පසුව තම මවට හා මව සේවය කළ නිවෙසට දුරකතන ඇමතුම් ලබා ගත්තද කිසිම පිළිතුරක් නැති තැන කුවේට්හි සේවය කරන තම හිතවත් කණ්ඩායම් කීපයකට ඇමතුම් ලබාගෙන මේ සිද්ධිය දැනුම් දුන් බව ද සඳහන් කළේය.


ඒ අනුව කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිරීමට ගියද එම පැමිණිල්ල දඹුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සටහන් කරන ලෙස දැන්වීමත් සමඟ දඹුල්ලට පැමිණ පැමිණිලි කළ බව චතුරංග මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් තම මවගේ මිතුරු ගෘහ සේවිකාවන් කීපදෙනෙකු ඇය සේවය කළ නිවෙසට ගොස් විමසීමේ දී ඇය ගෙල වැලලාගෙන මියගිය බව එහි හාම්පුතා දැනුම් දුන් බව ඔවුන් තමාට දුරකතනයෙන් දන්වා සිටි බව වැඩිදුරටත් සඳහන් කළේය.

 

දඹුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයට නැවත ගොස් විමසීමේදී කුවේට් තානාපති කාර්යාලය හරහා ඔවුන් ගත් තොරතුර අනුව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික මළ සිරුරු දෙකක් තිබෙන බවත් ඉන් එකක් තම මෑණියන්ගේ මළ සිරුර බවත් සනාථ කළේයැයි හෙතෙම පැවසීය.


තමන් කුඩා කාලයේ සිට පියා අහිමිව තම මව විදේශගතව සිටි බවත් මවට කිසිම ආකාරයේ ගෙල වැලලාගෙන මිය යන්නට හේතුවක් නැති බවද තම පුතුන් දෙදෙනාට රිමෝට් කාර් මිලදීගෙන තම බිරිය මෙන්ම අසල්වැසි ඥාතීන්ට ද තෑගි භෝග රැගෙන ඒවා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙන්වමින් ලංකාවට පැමිණීමේ ඉමහත් ආශාවෙන් බලාපොරොත්තු ඇතිව මව සිටි බව හෙතෙම සඳහන් කළේය.


අනෝමා මහත්මියගේ මව ටී. ජී. පොඩි නෝනා මහත්මිය හැඬූ කඳුළින් කියා සිටියේ තම දියණිය වසර ගණනාවක් විදේශීය රටවල සේවය කළ බවයි. 


ඒ අනුව මේ නිවෙසේ වසර ගණනාවක් සේවය කළ බවත් ඔවුන් සමඟ ඉතා සමීපව සේවය කළ නිසාම වසර කීපයකට ඉහත දී තම දියණිය සේවය කරන නිවෙසේ හාම්පුතුන් ලංකාවට පැමිණ දියණියගේ නිවෙසටද පැමිණි බව ඇය සඳහන් කළාය.


එවැනි හිතවත්කමක් තිබුණු තැන දියණිය පැමිණීමට නියමිත දිනයේ තමන්ට දුරකතනයෙන් කතා කර එම නිවෙසේ මේ දිනවල කරදර ඇති වන බව පැවසුවේ යයිද නිවෙසේ හාම්පුතාගේ බිරිය සහ දියණියගෙන් කරදර ඇති බව තමා සමඟ සඳහන් කළේ යැයිද මව පැවසුවාය.


තම දියණියට ගෙල වැලලාගෙන මිය යෑමට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු බවත් වහාම තම දියණියගේ දේහය ලංකාවට ගෙනැවිත් මරණ පරීක්ෂණයක් පවත්වා අපරාධයක් වී ඇත්නම් එම අපරාධකරුවන්ට දඬුවම් දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඇය සඳහන් කළාය.


 තම දියණියගේ වියෝව දැනගත් මොහොතේ සිට මව සිහිසුන්ව ඇද වැටෙන වාර අනන්ත බව නිවැසියෝ සඳහන් කරති. 


අපද එම නිවෙසට යන අවස්ථාවේදී ද මෑණියන් එකවරම ඇද වැටී තිබුණි.

 

මේ කාන්තාවගේ මරණය සැලවීමත් සමඟ ලෝක කම්කරු දිනය යෙදුණු මැයි පළමුවැනිදා ඇයගේ හත් දවසේ පින්කම සූදානම් කර තිබුණි. 


මළ සිරුර කුවේට්හි රෝහලක තැන්පත් කර තිබෙද්දී ඇය පදිංචි නිවෙසට ලෝක කම්කරු දිනය දා භික්ෂුන් වහන්සේ නමක් වැඩම කර ධර්ම දේශනාවක් පවත්වා පසුදින දානය පිරිනැමීම සිදු කරන බවත් නිවැසියෝ සඳහන් කළහ.

 

views

316 Views

Comments

arrow-up