“දිගු කලක් මගේ විනෝදාංශය මගේ වෘත්තිය කරගන්න මට ලොකු වරප්‍රසාදයක් ලැබුණා” - වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගනිමින් රෆායල් නඩාල් තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

“දිගු කලක් මගේ විනෝදාංශය මගේ වෘත්තිය කරගන්න මට ලොකු වරප්‍රසාදයක් ලැබුණා” - වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගනිමින් රෆායල් නඩාල් තැබූ සටහන

“දිගු කලක් මගේ විනෝදාංශය මගේ වෘත්තිය කරගන්න මට ලොකු වරප්‍රසාදයක් ලැබුණා” - වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගනිමින් රෆායල් නඩාල් තැබූ සටහන

ලෝක ප්‍රකට ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක, 38 හැවිරිදි රෆායල් නඩාල් ඩේවිස් කුසලානයෙන් පසුව ඊයේ (19) සිය වෘත්තීය ටෙනිස් දිවියට සමුදුන්නා.

 

කඳුළු පිරි දෙනෙතින් යුතුව ටෙනිස් දිවියට සමුදුන් නඩාල්, ඔහුගේ ආදරණීය රසිකයින්ට පණිවිඩයක් ද ලබාදී තිබුණා.

 

ඒ, තමන් සිහින මැවූ දෙයට වඩා වැඩි යමක් අත්කරගන්නා ලෙසයි.

 

"මම වසර 20 ක වෘත්තීය ජීවිතයක් ගතකර තිබෙනවා.

ඔබ මාව හොඳ කාලය හරහා ගෙන ගියා සේ ම නරක කාලය තුළ ඔබ දිගටම ක්‍රීඩා කිරීමට මාව තල්ලු කළා.

මම නෙදර්ලන්තයට සුබ පතන්න කැමතියි.

මුළු ස්පාඤ්ඤ කණ්ඩායමට ම ස්තූතිවන්ත වෙනවා. මා සතුව තිබූ සියල්ල මම ලබා දුන්නා.

මම ටෙනිස් ක්‍රීඩා කිරීමෙන් වෙහෙසට පත් නොවුණත්, මගේ ශරීරය තවදුරටත් ක්‍රීඩා කිරීමට අකමැති නිසා ඔබ මෙය පිළිගත යුතුයි.

මට ලොකු වරප්‍රසාදයක් ලැබුණා, දිගු කලක් මගේ විනෝදාංශය මගේ වෘත්තිය කරගන්න..."

 

 

නඩාල් මෙලෙස සමුගන්නා අවස්ථාවට ඔහුගේ බිරිඳ මේරි, කුඩා පුත් රෆායෙල් ජූනියර්, දෙමාපියන් වන ඇනා මරියා සහ සෙබස්තියන්, සහෝදරිය මාරිබෙල් ඇතුළු පවුලේ පිරිස් ද එක්ව සිටියා.

 

රෆායල් නඩාල්, ටෙනිස් දිවියට සමුදෙන බව ප්‍රකාශ කර තිබුණේ ඔක්තෝබර් මාසයේදී යි.

 

ඒ අනුව තමන්ගේ අවසන් තරගය ඩේවිස් කුසලානය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

 

කෙසේ නමුත් සිය අවසන් තරගයේදී නඩාල්ට ජයග්‍රහණය අත්කර ගැනීමට නොහැකි වූවා.

 

මලගාහිදී පැවති ඩේවිස් කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තය හමුවේ ස්පාඤ්ඤය කණ්ඩායමට අත්වූයේ පරාජය යි.

 

 

තරගය අවසන, නඩාල්ගේ සමකාලීනයන් උපහාර වීඩියෝවක් මඟින් ඔහුට ප්‍රශංසා කර තිබුණා.

 

එහිදී අදහස් දක්වමින් රොජර් ෆෙඩරර් සඳහන් කර තිබුණේ,

"ඔබ සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම වරප්‍රසාදයක්. ඔබගේ ඇදහිය නොහැකි වෘත්තියට සුබ පැතුම්..." යනුවෙන්.

නොවැක් ජොකොවික් සිය අදහස් පළකිරීමේදී සඳහන් කර සිටියේ,

"ඔබේ ප්‍රතිවාදියා ලෙස හැඳින්වීම මට ගෞරවයක්.

ඔබේ ස්ථීරභාවය, ඔබේ සටන්කාමීත්වය, ඔබ ගෙන ආ ශක්තිය, බලය, අධ්‍යයනය කළ යුතු දෙයක්.

එය ඉදිරි පරම්පරා ගණනාවකට ශක්තියක් වනු ඇති...'' යනුවෙන්.

 

මීට අමතරව සෙරීනා විලියම්ස් සිය අදහස් දැක්වීමේදී සඳහන් කර සිටියේ, තමාට ජයග්‍රහණ ලබාගැනීමට නඩාල්ගේ පෙළඹවීම වැදගත් වූ බවයි. එමෙන්ම ඩේවිඩ් බෙකම්, ඇන්ඩ්‍රෙස් ඉනිස්ටා, රාවුල්, ගොල්ෆ් ක්‍රීඩක සර්ජියෝ ගාර්ෂියා, ඇන්ඩි මරේ ඇතුළු පිරිස් ද නඩාල්ට ප්‍රශංසා කර තිබුණා.

 

 

වෘත්තීය දිවිය තුළ නඩාල් දිනා ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණන 22ක්.

 

ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ අනුව නඩාල් විශ්‍රාම යන්නේ සිය දිගුකාලීන ප්‍රතිවාදියා වූ නොවැක් ජොකොවිච්ට පමණක් පිටුපසින් සිටින දෙවන සාර්ථකම පිරිමි කේවල ටෙනිස් ක්‍රීඩකයා ලෙසයි.

 

රෝලන්ඩ් ගැරෝස් හිදී නඩාල්, ප්‍රධාන තරග 116 න් 112 ක් ජයගනිමින් වාර්තාගත ලෙස 14 වතාවක් ප්‍රංශ විවෘත කේවල ශූරතාව දිනාගැනීමට ද සමත්වූවා.

 

නඩාල් සිව් වතාවක් එක්සත් ජනපද විවෘත ශූරයෙකු වූ අතර ඕස්ට්‍රේලියානු විවෘත සහ විම්බල්ඩන් ද දෙවරක් දිනාගැනීම විශේෂයි.

 

එමෙන්ම ඔහු කේවල සහ යුගල ලෙස රන් දිනූ ඔලිම්පික් ක්‍රීඩකයෙකි.

views

169 Views

Comments

arrow-up