එකට කාබී ගුවන් විදුලි යන්ත්‍රයක් නිසා මිතුරා අතින් මිතුරා අවසන් ගමන් ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

එකට කාබී ගුවන් විදුලි යන්ත්‍රයක් නිසා මිතුරා අතින් මිතුරා අවසන් ගමන් ගිය හැටි

එකට කාබී ගුවන් විදුලි යන්ත්‍රයක් නිසා මිතුරා අතින් මිතුරා අවසන් ගමන් ගිය හැටි

එකට මත්පැන් පානය කිරීමෙන් පසු රත්නපුර ගිලීමලේ ප්‍රදේශයේ මැණික් පතලයක සේවය කළ පතල්කරුවන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ඇතිවූ ආරාවුලකින් 52 හැවිරිදි පතල්කරුවකු මරුමුවට පත්ව ඇතැයි රත්නපුර පොලිසිය පවසයි.

 

රත්නපුර ගිලිමලේ ප්‍රදේශයේ මැණික් පතල් වාඩියකදී මෙම මරණය සිදුව තිබේ. පතල් වාඩියේ තිදෙනෙක් මෙදින රාත්‍රියේ නිදාගෙන සිටි අවස්ථාවේ එක් සේවකයෙක් එහි තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ගොස් ඊට විරුද්ධ වූ මරණකරු එය වසා දැමීමත් සමග ආරාවුල හටගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

 

ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළ පුද්ගලයා සහ වසා දැමූ පුද්ගලයා අතර බහින්බස්වීමක් ඇතිවී මිය ගිය පුද්ගලයාට සැකකරු විසින් කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී එම ස්ථානයේදීම ඝාතනය කර ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 

ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර සැකකරු සහ මරණකරු එකට මත් පැන් පානය කර එම මත්පැන් මදිවී නැවතත් ගෙනවිත් පානය කර ඇතැයි ද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 

සැකකරු විසින් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එය මුල්කර බහින්බස්වීමක් ඇති වූ බවත් පසුව තමන්ට පොළොවට ගසන හඬක් වැනි හඬක් ඇසී ගොස් බලන විට මරණකරු ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි බව පතලේ සිටි තවත් පතල්කරුවෙකු ප්‍රකාශ කර තිබේ.

 

මෙසේ මියගොස් ඇත්තේ ගිලීමලේ ප්‍රදේශයේම පදිංචි රවීන්ද්‍ර අබේනාත් නමැති 52 හැවිරිදි අයෙකි. සැකකරු වෙනත් ප්‍රදේශයක පදිංචිකරුවකු වන අතර සිද්ධියෙන් පසු පලායෑමට උත්සාහ කිරීමේදී පතල් සේවකයන් විසින්ම ඔහු අල්ලා පොලිසියට භාරදී තිබේ.

 

මේ පිළිබඳව රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරයි.

views

213 Views

Comments

arrow-up