“මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න බෑ” - කැනඩාවේදී අවසන් ගමන් ගිය දර්ශනීගේ මව කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

“මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න බෑ” - කැනඩාවේදී අවසන් ගමන් ගිය දර්ශනීගේ මව කියූ කතාව

“මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න බෑ” - කැනඩාවේදී අවසන් ගමන් ගිය දර්ශනීගේ මව කියූ කතාව

අහස පොළොව නුහුළන ඛේදවාචක මේ මිහිපිට ඕනෑ තරම්.

 

එහෙම හද කම්පා කළ බිහිසුණු ඛේදවාචකයක් ගැන, ඝාතනයක් ගැන පහුගියදා අහන්න ලැබුණේ කැනඩාවෙන්.

 

රට කැනඩාව වුණාට එහි නෑකම තිබුණෙ ලංකාව එක්ක.

 

ඒ අනුව එකම පවුලේ මව, දරුවන් සිව්දෙනා සහ එම පවුලේ හිතවතෙකු ලොවක් කම්පාවට පත්කරමින් අවසන් ගමන් ගියා.

 

දර්ශනී දිලන්තිකා ඒකනායක.... ඈ සුරලොව ගියේ මේ මනුෂ්‍ය ලෝකයේ ඇති නරක, නපුරු තැන් තාම හරිහැටි නොදත් සිය දරු සිව්දෙනාවත් තුරුළු කරගෙන.

 

ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් එම නිවසේ ම සිටි 19 හැවිරිදි ලාංකික සිසුවා ගැන විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

 

ඒවා කොහොම වුණත් තම දරුවන් ගැන බලාපොරොත්තු මහ හුඟක් පොදි බැඳගත්තු දර්ශනීත්, පාට පාට ලෝකයක් ගැන හීන ඇහිඳපු හයක් හතරක් නොතේරෙන පුංචි පැටව් ටිකත් එලොවට පියාඹලා ගිහින් ඉවරයි.

 

වාර්තා වන හැටියට ඝාතනයට ලක් වූවන්ගේ අවසන් කටයුතු කැනඩාවේදී සිදුවන බව සඳහන්.

 

''දරු පැටව් ටික දෙපයින් හිටියා නම්....

මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි.

මිනී ගේන්නෙ නෑ. සියලුම කටයුතු එහෙ.

පන්සලේ හාමුදුරුවො අවශ්‍ය කරන සියලු දේවල් කරනවා.

හස්බන්ඩ්ගෙ පැත්තෙන් අප්පච්චියි මල්ලියි යනවා....''

ඒ දර්ශනීගේ ආදරණීය මව.

 

අම්මෙක්ට දුවෙක් අහිමි වීමේ වේදනාව, මිත්තණියකට මුණුපුරන් අහිමි වීමේ වේදනාව ඇගේ හද තුළ රැව් දෙනවාට සැක නෑ.

 

කාලය කෙතරම් ඉගිල ගියද ඒ දැනෙන වේදනාව සදාකාලික එකක් වනු ඇති.

 

එහෙම ඔවුන් කැනඩාවේදීම අවසන් ගමනට සැරසුණද, පොල්ගහවෙල පිහිටි දර්ශනීගේ නිවසේ ආගමික වතාවත් සිදුකෙරී තිබුණා. ඒ පවුලේ හිතවතුන්ගේ සහභාගීත්වයෙන්.

 

ඛේදවාචකයෙන් දිවි බේරාගත් එම පවුලේ පියා වූ තුවාල ලද ධනුෂ්ක වික්‍රමසිංහ සමඟ කතා කිරීමට හැකියාවක් ලැබුණු බවත් දර්ශනීගේ පවුලේ පිරිස් සඳහන් කර තිබුණා.

 

''පුතා වීඩියෝ කෝල් එකක් අරන් මෙහෙට කතා කරලා තිබ්බා.

ලොකු විස්තරයක් කියන්න තරම් කතා කළේ නෑ....''

 

 

“අපිට ඔයා නැතුව පාලුයි ඉනුක.

ඔයා හොඳ මිතුරෙක්. අපිට ඔයාගෙ හිනාව මඟහැරෙනවා...''

මේ, මව සහ සහෝදරියන්ට තුරුළුව සුරලොව ගිය හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ වෙනුවෙන් සිය මිතුරන් එක්කාසු කළ සටහන්.

 

පුංචි අත්වලින් එහෙම ලියවිලා තිබුණේ තමන් විසින්ම සාදන ලද කාඩ්පත්වල.

 

මේ ආදරණීයන් වෙනුවෙන් තැන තැන පිදෙන මල්, කාඩ්පත්, පුළුන් පිරවූ සෙල්ලම් සතුන් සහ දැල්වෙන ඉටිපන්දම් කන්දකි.

 

ඒ ඔටාවා හි මෑත ඉතිහාසයේ වූ දරුණුතම සමූහ ඝාතනයෙන් ජීවිතය හැරගිය වරදක් නොකළ අහිංසකයින් වෙනුවෙනි.

views

476 Views

Comments

arrow-up