මංගල දැන්වීම් ඔස්සේ කතුන් රවටා මුදල් ගැරූ හමුදා අනංගයාට වැඩ වරදී

පුවත්පත්වල පලවන මංගල යෝජනා වලට දුරකථන ඇමතුම් ලබාදී ලක්ෂ ගණනින් මුදල් වංචා කළ විශ්‍රාමික හමුදා සෙබළෙක් පිළිබඳව අතුරුගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබිණි.
වයස අවුරුදු 44 ක් වූ තිදරු පියෙක් වෙන මෙම පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිඳ විදේශගත වී සිටින බව සඳහන්.
අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි උපාධිධාරිනියක විසින් පළ කර තිබූ විවාහ යෝජනාවකට ද මොහු දුරකථන ඇමතුමක් ලබාදී ඇත. කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරන අයෙකු ලෙස පෙනී සිටි ඔහු විටින් විට කටහඬ වෙනස් කරමින් ඔහුගේ මව හා සහෝදරයා ලෙස ද අපූරු රංගනයක යෙදී තිබුණි.
කෙමෙන් කෙමෙන් මෙම සම්බන්ධතාව දුරකථනය ඔස්සේ ම විවාහය සැලසුම් කරන තැනටම පත්විය. ගොනා පොල් පැළය කෑමට හැරුනේ එතැනදීය. විවාහයට අවශ්‍ය වියදම් කළමනාකරණය කිරීමට සහ විවාහයෙන් පසු දෙන්නාට සැපට ගමන් කිරීමට මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබාගන්න අවශ්‍ය බව ඔහු විසින් ඇයට කියා තිබුණි. තමා සේවය කරන බැංකුවෙන්ම මෙම මුදල ලබාගත හැකි බව පැවසූ ඔහු එහි මූලික කටයුතු කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වැයවෙන බව පවසා එම මුදල ඔහුගේ බැංකු ගිණුමට බැර කරන ලෙස ඇයට කියා තිබුණා.
ජයටම මඟුල් කා තමාගේම රථයකින් මධුසමය ගත කිරීමට සිහින මව මවා සිටි උපාධිධාරිනිය දෙවරක් නොසිතා එම මුදල තැන්පත් කර තිබුණේ තමාගේ විශ්‍රාම පාරිතෝෂික මුදල ද අරගෙනය.
මුදල් තැන්පත් කර පැය භාගයක් යන්නටත් මත්තෙන් අනංගයා ආවරණ කලාපයෙන් බැහැර විය
තමාට සිදුවූ වින්නැහිය වටහාගත් උපාධිධාරිණිය මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. බැංකුවේ CCTV පද්ධතිය මගින් සැකකරුව හඳුනාගත් පොලිසිය කහටගස්දිගිලිය ප්‍රදේශයේ සැඟව සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් තිබී ඇත. මොහු කාලයක් තිස්සේ මෙලෙස කාන්තාවන් රවටා මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් මෙලෙස රැවටූ කාන්තාවන් ගනන ඉතා විශාල නිසාවෙන් තමන්ට කීදෙනෙක් දැයි පවා හරියට මතකයක් නැති බවයි.
3733 Views
Comments