දෙපා වාරු නැතිකම නිසා ඉස්කෝලෙත් නොගිහින් උසස් පෙළ සමත්වූ කීර්තිගේ කතාව

ඇවිද යන්නට වාරු නැතිව කොඳු ඇට පේළිය ඇද වීමේ අසාමාන්‍ය රෝගයකින් පෙළෙන දරුවකු එක් දිනක් හෝ පාසල් නොගොස් උසස් පෙළ විභාගයෙන් සමත්වීමේ පුවතක් ගිණිගත්හේන පිටවල ප්‍රදේශයෙන් වාර්තා වේ. අපොස උසස් පෙළ විභාගයෙන් ‘එස්’ සාමාර්ථ තුනක් ලබා සමත්ව ඇත්තේ ගිණිගත්හේන, පිටවල පල්ලේවත්ත, දාගම්පිටිය, නීලවත්ත යන ලිපිනයේ පදිංචි එම්. කීර්ති චන්ද්‍රසිරි නම් දරුවාය.
කොඳු ඇට පේළියේ අසාමාන්‍ය වෙනස් වීමත්, මස්පිඬු දියවීමත් යන රෝගයෙන් පෙළෙන කීර්ති චන්ද්‍රසිරිට සාමාන්‍ය දරුවකුට සේ ඇවිද යෑමට නොහැකිය. එපමණක් නොව සිය නිවස පිහිටි දැඩි බෑවුමේ සිට ඔහුට මීටර් හාරසියක පමණ දුරක් ඉහළට පඩිපෙළේ යෑමට හෝ ඒමට බැරිය. ඒ වෙනකක් නිසා නොව ඔහුගේ අසනීපය නිසාමය. එහෙත් ඔහුට මහා ශක්තියක් වන්නේ ඔහුගේම අයියාය. චන්ද්‍රසිරි සාමාන්‍ය පෙළ විභාගයට ගියේද අයියාගේ කර මතින්ය. එහෙම ගොස් ඔහු සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වන්නේ උසස් පෙළ විභාගයද කෙසේ හෝ ලියන අටියෙන් ය. එහෙත් මෙහි ඇති පුදුමය වන්නේ ඔහුට උසස් පෙළ විභාගයට මුහුණ දීමට පාසල් යෑමට නම් නොහැකිවී ඇත්තේ ඒ අහිංසක අම්මට තාත්තාට ඔහුව වත්තන් කරගෙන පාසල් යෑමට හෝ ඒමට නොහැකි හේතුව නිසාය. එහෙත් ශරීර පෘෂ්ටියට වඩා චිත්ත පෘෂ්ටිය කෙතරම් ශක්තිමත් දැයි සිතූ චන්ද්‍රසිරි දරුවා එකදු දිනයක් හෝ පාසල් ගියේ නැත. එහෙත් ඔහු ඔහුට හැකි අයුරින් උසස් පෙළ විභාගයට ගෙදර සිට පාඩම් කළේය.
පාසලේ එකම දිනයක් හෝ ඉගෙන නොගත් චන්ද්‍රසිරි දරුවා සිය අත රැඳි පාසල් පොත් හා ගුරුවරුන්ගේ උපකාරයෙන් නිවසේ සිට පාඩම් කටයුතු කළේ උසස් පෙළ විභාගයට සිංහල, භූගෝල විද්‍යාව හා ජන සන්නිවේදනය යන විෂයන් තෝරා ගත්තේ පැමිණි දුක් පැණි රසයි යන නියාම දහම තේරුම් කරගෙනය. අයියා ගේ කරමතින් ගොස් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් චන්ද්‍රසිරි මල්ලීව යළි උසස් පෙළ විභාගයට ද සිය කර මතින් රැගෙන යන්නට අයියා නොපැකිලිව ඉදිරිපත් විය. සිය නිවසේ සිට ප්‍රධාන මාර්ගයට මීටර් හාරසියයක් කර මතේ තියාගෙන නගින්නට අයියාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නට ඇති. එතැන් පටන් සිදු වූ විස්තර කීවේ චන්ද්‍රසිරි දරුවාගේ මව වන ගුණවතී මහත්මියයි. විටෙක සතුටු කඳුළුද, විටෙක දුක්බර වූ කඳුළු හා මතක ගොන්නක් කරමත දරාගත් ඩබ්ලිව්. ජී. ගුණවතී මහත්මිය හැඟුම්බරව සිය අදහස් මෙලෙස පැවසුවාය.
මගේ දරුවා උසස් පෙළ විභාගයට කියලා එක දවසක්වත් ඉස්කෝලේ ගියේ නැහැ. ඒත් අයියාගේ කරමතින් ගෙදර ඉඳලා ප්‍රධාන මාර්ගයට ගියපු මගේ දරුවා පිටවල සිට ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයට රැගෙන ගියේ ත්‍රිරෝද රථයකින්. ප්‍රධාන පාරේ ඉඳලා ගිණිගත්හේන පාසලට රුපියල් තුන්දහස් පන්සියයක් ගන්නවා. විභාගය තිබ්බ දවස් ටිකට රුපියල් තිස් හය දහසක් වියදම් වුණා. ඒ කොහොම වෙතත් මගේ දරුවා එක දවසක්වත් ඉස්කෝලේ නොගිහින් විභාගය සමත්වීම මුළු ලංකාවෙන්ම පළවෙනියා හා සමානයි මට. මොකද මගේ දරුවා සාමාන්‍ය දරුවෙක් නෙවෙයි. අසාමාන්‍ය ශරීරයක් සහිත රෝගී දරුවෙක්. අතපය හොඳට තියෙන දරුවන්ට මගේ පුතා හොඳ ආදර්ශයක් කියලා මම කියන්න කැමතියි.
327 Views
Comments