හෙළ සිනමාවේ දැවැන්ත වෘක්ෂය, “ජැක්සන් ඇන්තනී” කලාවේදියාගේ 66 වන ජන්ම දින සැමරුම අදයි

ඇවිදින පුස්තකාලයක් බඳු දැනුම් සම්භාරයක් තමන් සන්තක කරගත් කලාත්මක මිනිසෙක් යැයි කියූ සැනින් ඔබට ඒ නම මුලින්ම මතකයට නැඟේවි.
හෙළ සිනමාවේ දැවැන්ත වෘක්ෂය ජැක්සන් ඇන්තනී.
ගෙවුණු කාලය පුරාවටම ඔහු පිළිබඳව කතාබහට ලක්වුණේ පළමුව ඔහු මුහුණ පෑ මාරාන්තික රිය අනතුර නිසාවෙනුත් පසුව රටක් කම්පා කරමින් ඔහුගේ නික්ම යාම නිසාවෙනුත්.
එලෙස නික්ම ගිය ඔහුගේ 66 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබෙනවා.
මේ ඔහුගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් තැබෙන සටහනයි...
කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී, එහෙමත් නැත්නම් ඔබට මට හදවතට සමීප වූ ආදරණීය ජැකා උපත ලබන්නේ 1958 ජූලි 8 වැනිදා.
ඔහු මෙරට සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය දිග් විජය කළ ප්‍රවීණයෙක් කිව්වොත් නිවැරදි.
සම්මානනීය කලාකරුවෙක් වන ඔහු හුදු රංගන ශිල්පියෙක් පමණක්ම නොවන අතර අධ්යක්ෂවරයෙක්, තිර රචකයෙක්, මාධ්‍යවේදියෙක්, කථිකයෙක්, ඉතිහාසඥයෙක්, දේශකයෙක්, භාෂාඥයෙක්, ගවේෂකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක් යන නේකවිධ ක්ෂේත්‍ර ස්පර්ෂ කළ අයෙක්.
සරලවම කිව්වොත් කලාගාරයක් බඳු සොඳුරු මිනිසෙක්.
ඊටත් වඩා ඔහු ආදරණීය සැමියෙක්, පියෙක් වගේම සීයා කෙනෙක්.
මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, අත්, මෝරා, තාරාවෝ ඉගිළෙති, ඔත්තුකාරයෝ, මෙතැතින් මාරුවෙනු වැනි වේදිකා නාට්‍යවලින් වේදිකාවේ අණසක පැතිර වූ ජැක්සන් ඇන්තනී පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්චි, සූරිය අරණ ,ඇඩ්රස් නෑ, උදුම්බරා, ධර්ම යුද්ධය වැනි නිර්මාණවලින් පුංචි තිරය සහ රිදී තිරය බැබළ වූ අග්‍රගණ්‍ය කලාවේදියෙක්.
මේ අසහාය කලාකරුවා අනතුරට ලක් වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ 'සිංහබාහු' චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධව සිටියදී තලාව ප්‍රදේශයේදී.
ඒ ඔහු ගමන්ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින්.
එලෙස ජැක්සන් ඇන්තනී කලාවේදියා නික්ම ගිය නමුත්, ඔහු කලාවට දායාද කළ දෑ සදාකල් රැඳෙනු ඇත.
පහතින් දැක්වෙන්නේ ආදරණීය අප්පච්චිගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් මාධවී තබන ලද සටහනයි...
''මං ජීවිතේ වැඩිපුරම කේක් හදලා පුදුම කළේ අප්පච්චිව.
අප්පච්චි අනතුරට පත් වුනාට පස්සෙ මම ආයෙ කවදාවත් මේ වෙනකන්ම කිසිම කෙනෙකුට කේක් එකක් හැදුවෙ නෑ.
මට හිත දුන්නෙ නෑ. මේ තමයි මේ අවුරුද්දෙ මගෙ පණිවිඩය...
"අද හිටියා නම්....
සුබ උපන්දිනයක් කියලා පුදුම කරනව අප්පච්චි !
අනේ ඉන්න තැනකින් සුබ පණිවිඩයක් එවන්න.
හැමදාම පොරොන්දු වුනා වගේ "මම දුවට ඉන්නවා" කියන්න."
1615 Views
Comments