නීතිඥවරියක් වෙන්න ඉගෙන ගන්න කියා එස්එස්පී නෝනෙක් වගේ ලක්‍ෂ ගණන් ගැරූ තරුණිය කොටුවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

නීතිඥවරියක් වෙන්න ඉගෙන ගන්න කියා එස්එස්පී නෝනෙක් වගේ ලක්‍ෂ ගණන් ගැරූ තරුණිය කොටුවූ හැටි

නීතිඥවරියක් වෙන්න ඉගෙන ගන්න කියා එස්එස්පී නෝනෙක් වගේ ලක්‍ෂ ගණන් ගැරූ තරුණිය කොටුවූ හැටි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක ලෙස (එස් එස් පී) රංගනයේ යෙදෙමින් විවිධ පුද්ගලයන් බියගන්වා තර්ජනය කර රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගත් බව කියන 24 හැවිරිදි තරුණියක් මොරටුව පොලිසිය මගින් පෙරේදා (12) අත්අඩංගුවට ගන්නා ලදී.

 

නීතිඥවරියකු වීමට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කිරීමට මුදල් සොයා ගැනීමට තමන් මේ ආකාරයට විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් බව සැකකාර තරුණිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

 

තම පියා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනි ස්ථානයේ පසුවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බව කියමින් මෙම තරුණිය විවිධ පුද්ගලයන් බියගන්වා මෙසේ මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

 

ව්‍යාජ නමකින් පෙනී සිටි තරුණියක් විසින් රුපියල් ලක්‍ෂ 05 ක මුදලක් වංචනික ලෙස ලබාගත් බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් 09 වැනිදා මොරටුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

 

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වු මොරටුව පොලිසිය බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය අත්අඩංගුවට ගත්තේය.

 

පසුව ඇගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක ලෙස රංගනයේ යෙදෙමින් මේ ආකාරයට විවිධ පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත් බව ඇය පාපොච්චාරණය කර ඇත.

 

විවිධ පුද්ගලයන් බිය ගැන්වීම සඳහා මෙම තරුණිය පොලිස් දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ සහ පොලිස් හැඳුනුම්පතක්ද යොදා ගෙන තිබූ බව හෙළිවී තිබේ.

 

සැකකාර තරුණිය ගල්කිස්ස ප්‍රදේශයේ රක්‍ෂණ ආයතනයක සේවය කරමින් සිටියදී මෙම වංචාව සිදු කර තිබේ.

 

මෙම තරුණිය නගර සභාවේ සේවය කරන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු බිය ගන්වා ඔවුන්ට විවිධ චෝදනා ඇති බව කියමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ඇත.

 

පොලිස් දෙපාර්තමේන්තුවේ ශීර්ෂය යටතේ ඔවුන් වෙත දිගින් දිගටම ලිපි එවීමට මෙම තරුණිය කටයුතු කර තිබේ.

 

තරුණියගේ තර්ජනවලට බියවී ඇති සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙදෙනා ඇය ලබාදුන් බැංකු ගිණුමකට අදාළ මුදල් තැම්පත් කර ඇත.

 

මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරි තරිඳු අනුරාධ යන මහත්වරුන්ගේ උපදෙස් මත මොරටුව පොලිස් ස්ථානාධිපති නිහාල් ප්‍රැන්සිස් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

views

9861 Views

Comments

arrow-up