“මේක මගෙ හිතට වදයක්” - අනියම් සැමියා සමඟ එක්වී මව පියාව මැරූ හැටි වසර 33කට පසු පුතා හෙලි කරයි

මවක ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සමග එක්වී මීට වසර තිස් තුනකට පමණ ඉහත දී පියා ඝාතනය කර සිරුර ගෙවත්තේ පිහිටි වැසිකිළි වළකට දමා සඟවා ඇති බව කියමින් එම කාන්තාවගේ පුතකු මාතර, ඌරුබොක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පියා මරා සැඟ වූ වැසිකිළි වළ මත පොල් පැළයක් මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා විසින් එම වකවානුවේදීම සිටුවන ලද බවත් එම පොල් පැළය සරුවට වැවී දැනටත් තිබෙන බවත් පැමිණිලිකරු පොලිසියට පවසා ඇති බව දැන ගැනීමට ඇත. ඒ අනුව එම ඝාතනය සොයා පරීක්ෂණයක් අරඹා තිබේ.
දොලමුල්ල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නමැති තම පියා මෙසේ ඝාතනය කර ඇති බවට ඔහුගේ පුතකු වන කපුගේ සුනිල් නමැත්තා ඌරුබොක්ක පොලීසියට ඉකුත් 12 වැනිදා මෙම පැමිණිල්ල කර ඇතැයි වාර්තා විය.
අනියම් සැමියා බව කියන පුද්ගලයා සමග එක් වී සිය සැමියා මරා වැසිකිළි වළට දමා සැඟ වූ බව කියන කාන්තාව මේ වන විට අසූ පස් හැවිරිදි (85) වියේ පසුවන තැනැත්තියක යැයි පොලීසිය සඳහන් කරයි. මෙම වයෝවෘද්ධ කාන්තාව අංශභාගය රෝගය වැළඳී එක්තැන්ව සිටින බව ද පොලිසිය කියයි.
ඇය අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන එම පුද්ගලයා ද තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු ද එම කාන්තාවගේ වයසේම පසුවන බවත් කියති. සිය පියා ඝාතනය කර වැසිකිළි වළට දමා සැඟ වූ බව කියන වකවානුවේ පැමිණිලිකරු අවුරුදු 16ක පමණ වයසේ පසුවූ පාසල් සිසුවකුව සිට ඇතැයි පොලිසිය කියයි.
වසර තිස් තුනක පමණ කාලයක් සඟවාගෙන සිටි බව කියන, සිය සැමියා මරා දැමීමේ රහස මෙම කාන්තාව ඇයගේ නැගණිය සමඟ මෑතක දී පවසා ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා කීය. සැමියා මරා දමා ඔහුගේ සිරුර සඟවා දැමූ බව කියන මෙම සිද්ධිය තමන්ගේ හිතට නිතර වද දුන් නිසා මරණයට පත් වීමට කලින් හිත නිදහස් කර ගැනීමට ඇය සිය නැගණිය සමඟ ඒ බව පවසා ඇති බව ද කියති.
රහසක් වශයෙන් තබා ගන්නා ලෙස පවසමින් සිය නැගණියට පැවසූ රහස ඇය පැමිණිලිකරුගේ බිරිය සමග පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි.ඇය මේ බව සිය සැමියාට දැනුම් දීමෙන් පසු ඔහු මේ බව පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට කතා කර ඉකුත්දා 10වැනිදා දැනුම් දී ඇත.පොලිස් හදිසි ඇමතුම් අංශය මේ බව ඌරුබොක්ක පොලීසියට දැනුම් දීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් ගැන හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට දැනුම් දීමෙන් පසුව ඔහුගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම අබිරහස් ඝාතනය ගැන ඌරුබොක්ක පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වාරයේ පොලිස් හදිසි ඇමතුම් අංශයට කතාකර මේ බව දැනුම් දුන් පුද්ගලයාගේ පුතා ඌරුබොක්ක පොලීසියට ද ඉකුත් 12 වැනි දා පැමිණ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි කරමින් පැමිණිල්ලක් කර ඇත. සිය පියා ඝාතනය කර මීට වසර තිස් තුනකට පමණ ඉහත දී වළ දැමූ ස්ථානය පෙන්වාදිය හැකි බව පැමිණිලිකරු පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.
ඌරුබොක්ක පොලිසිය මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර අධිකරණ නියෝගයක් ලබා ගෙන අදාළ ස්ථානයේ කැණීම් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි. කැණීම් කටයුතු කරන තෙක් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා ඇත.
1652 Views
Comments