“ඔහු කිව්වා......” - වෙඩි වැදීමට මොහොතකට පෙර ගනේමුල්ලේ සංජීව පැවසූදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

“ඔහු කිව්වා......” - වෙඩි වැදීමට මොහොතකට පෙර ගනේමුල්ලේ සංජීව පැවසූදේ මෙන්න

“ඔහු කිව්වා......” - වෙඩි වැදීමට මොහොතකට පෙර ගනේමුල්ලේ සංජීව පැවසූදේ මෙන්න

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරිපිට පැවැත්විණි. මෙහිදී සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණයේ රාජකාරියේ නියුතුව සිටි නිලධාරීන් තිදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.



කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ පළමු සාක්ෂිකරු ලෙස කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග මහතා සාක්ෂි ලබා දුන්නේය. ඔහු පැවසූ අන්දමට සිද්ධිය වූ දින පෙරවරු 9.30 ට පමණ අධිකරණයේ නඩු විභාග ආරම්භ වී ඇත.
 



"එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරගත සැකකරුවන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමේ කටයුතු සිදු කෙරුණා. පෙරවරු 9.40 ට පමණ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු අධිකරණ ශාලාව තුළට රැගෙන ආවා. ඔවුන් පැවසුවේ මෙම සැකකරු ගනේමුල්ල සංජීව බවයි. සැකකරුට සතුරන් සිටින බැවින් සිර මැදිරියේ තැබිය නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් පැවසූ නිසා ඔහු බංකුවක වාඩි කරවන ලෙස මම උපදෙස් දුන්නා," යැයි පොලිස් කොස්තාපල් තරංග මහතා සාක්ෂි දෙමින් පැවසීය.



ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නඩු තිහක් පමණ ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාග කිරීමෙන් පසු සම්බන්ධතාවය බිඳ වැටුණු බවත්, ඉන්පසු ගනේමුල්ල සංජීවගේ නඩුව කැඳවූ බවත්ය. එහිදී මහේස්ත්‍රාත්තුමිය සැකකරුගෙන් ඇප තත්ත්වය විමසූ අතර, ඔහු ඇප නොමැති බව පවසා ඇත.


"ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමිය සැකකාර ගනේමුල්ල සංජීව ගෙන් විමසුවා නඩුවට ඇප තිබ්බද කියලා. ඒ වෙලාවේ ගනේමුල්ල සංජීව සඳහන් කළා ඇප තියන්නේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරියාගෙන් ප්‍රශ්න කළා අධිකරණ නියෝග නැතුව ඇයි මේ සැකකරු රැගෙන ආවේ කියලා. ඊට පිළිතුරු දීම සඳහා බන්ධනාගාර නිලධාරියා ඉදිරියට පැමිණියා. ඔහුට නවය කියන වචනය පමණයි කියන්නට ලැබුණේ. එකපාරටම වෙඩි ශබ්ද තුන හතරක් ඇසුණා. ඇතුළේ සිටි පිරිස කෑ ගහන්න පටන් ගත්තා.


නීතිඥ ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් විත්ති කූඩුව පැත්තට හැරිලා යමක් කරනව දැක්කා. ඒ සමග තමයි වෙඩි ශබ්ද ආවේ. මම ඒ පුද්ගලයාගේ මුහුණ දැක්කේ නෑ. නිල් පාට ටයිපටියක් ඇඳ සිටියා. පසුව ඒ පුද්ගලයා දොර ඇරගෙන පිටට පැන ගියා. අතේ මොකුත් තිබ්බේ නෑ. පසුව මම විනිසුරු ආසනය දෙස බැලුවා. එහි විනිසුරුතුමිය හිටියේ නෑ. පසුව අපි පරීක්ෂා කළා. පසුව විනිසුරුතුමිය බෙන්ච් එක යට තමයි සිටියේ. පසුව අපි ඇයව ආරක්ෂිතව නිල මැදිරියට රැගෙන ගියා. මහේස්ත්‍රාත්තුමිය කම්පනයකට පත්වී සිටියා. පසුව වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකාර ගනේමුල්ල සංජීව විත්ති කූඩුව තුළ උඩුබැලි අතට අතට වැටී සිටියා."




දෙවන සාක්ෂිකරු ලෙස නීතිඥ ප්‍රියන්ත පුෂ්පකුමාර සමරනායක මහතා සාක්ෂි දෙමින් පැවසුවේ තමා පෙරවරු 8.30 ට පමණ අධිකරණ ශාලාවට පැමිණි බවයි. ඔහු පැවසූ පරිදි උස් පුද්ගලයෙකු ගොනු කවරයකින් මුහුණ වසාගෙන අධිකරණයට ඇතුළු වී ඇති අතර, එම පුද්ගලයා නීතිඥවරයෙකු නොව සී.අයි.ඩී. හෝ නාර්කොටික්ස් අංශයේ නිලධාරියෙකු යැයි තමා සිතූ බව පැවසීය.



''පෙරවරු 9.30 ට පමණ නඩු කටයුතු ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙකු ෆයිල් කවරයකින් මුහුණ වසාගෙන අධිකරණ ශාලාව තුළට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සී.අයි.ඩී එකේ හෝ නාකොටික් එකේ ඔෆීසර් කෙනෙක් කියලා. පසුව ගනේමුල්ල සංජීවගේ නඩුවක් කැඳෙව්වා. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව විත්ති කූඩුවට ඉදිරිපත් කළා. මහේස්ත්‍රාත්තුමිය ඇහුවා සැකකරු ගෙන් ඇප තියල ද කියල. ඔහු කිව්වා ඇප තියන්නේ නැහැ කියලා. පසුව මහේස්ත්‍රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් විමසුවා අධිකරණ නියෝග නැතුව ඇයි අරන් ආවේ කියලා. ඊට බන්ධනාගාර නිලධාරීන් යමක් ප්‍රකාශ කළා. ඒ සමගම අර උස පුද්ගලයා පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කලා. ඒ සමඟම වෙඩි සද්ද ආවා. වෙඩි සද්ද පහක් පමණ ඇසුණා. පසුව ඒ පුද්ගලයා පිස්තෝලය බිම දමා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාන් කියන නිලධාරියා" ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා" කියලා කෑ ගැහුවා.

 


කට්ටිය කෑගහන්න පටන් ගත්තා. සංජීව කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා" යනුවෙන් පැවසුවේය.




තෙවන සාක්ෂිකරු ලෙස පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල් අනුර විජේසිරි මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ තමා පෙරවරු 9.15 ට පමණ අධිකරණයට පැමිණි බවයි. ස්කයිප් නඩු විභාග හේතුවෙන් සිවිල් පුද්ගලයින් ඉවත් කර තිබූ බවත්, අධිකරණ කාර්ය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා නීතිඥවරු පමණක් රැඳී සිටි බවත් ඔහු පැවසීය.

 


" වෙඩි තැබීම සිදු වූ ඉකුත් 19 වනදා පෙරවරු 9.15 ට පමණ මා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 ශාලාව තුළට පැමිණියා. එදා පෙරවරු 9.30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ වුණා. එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විමසීම යෙදී තිබූ නිසා අධිකරණ ශාලාව තුළ සිටි සිවිල් පුද්ගලයින් ඉන් ඉවත් කළා. අධිකරණ කාර්යය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරින්, පොලිස් නිලධාරීන් හා නීතිඥවරු අධිකරණය තුළ රැඳී සිටියා. පෙරවරු 9.45 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවකු අධිකරණය තුළට අරන් ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කළා. පසුව ඔහුගේ නඩුව කැඳව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ හිටපු කෙනෙක් විත්ති කූඩුවේ සිටි සැකකරු වෙත වෙඩි ප්‍රහාර එල්ල කළා. වෙඩි තැබීම් පහක් පමණ සිදු කළා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුලේ හිටපු කට්ටිය කෑ ගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබූ පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒ වෙලාවේ එස්.ටී.එෆ් නිලධාරීන් ආවා. සිවිල් පුද්ගලයෝ පඩිපෙළේ වැටී සිටියා. එස්.ටී.එෆ් නිලධාරීන් පඩිපෙළේ ඉන්නවා දැක්කා. පසුව විත්තිකූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මම දැක්කා."  යැයි විජේසිරි මහතා සාක්ෂි දුන්නේය.



මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම මෙම මස 27 වන දින දක්වා කල් තබන ලදී.

views

1436 Views

Comments

arrow-up