“ආච්චි එක්ක ගල් පොත්ත උඩ ඉන්න කොට අලි 7ක් විතර ආවා” - පුංචි ලෝකාන්තය බලන්න ගොස් අතරමංවූ නිලුපුල් කියන ඇඟ හිරිවැටෙන කතාව

“රාත්‍රියේ ගලක් උඩ ඉන්න විට කූඩැල්ලන් කෑවා. අලි එනවිට ආච්චියි මායි ගහක් උඩ සිටියා” යැයි රිවර්ස්ටන් කන්ද නැරැඹීමට ගොස් කැලෑවක් තුළ අතරමංවූ සුජින්තක තම බිහිසුණු අත්දැකීම විස්තර කරමින් පැවසුවේය.
ලග්ගල පුංචි ලෝකාන්තය නැරැඹීමට පොලොන්නරුවෙන් ගිය නඩයේ කාන්තාවක් සහ පිරිමි ළමයකු ඉකුත් 16 දා දහවල් අතුරුදන් වී සිටි අතර ඔවුන් දෙදෙනා ලග්ගල පොලිසිය, සංචාරක පොලිසිය, යුද හමුදා, වනජීවී සහ ගම්වැසියන් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී පෙරේදා උදේ (17) සොයාගෙන තිබුණි.
පොලොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ සිට ඉකුත් 16 දා ලග්ගල රිවර්ස්ටන් කන්ද එනම් පුංචි ලෝකාන්තය නැරැඹීමට බස්රථයකින් විසිදෙනෙක් පමණ පැමිණ ඇති අතර එම කණ්ඩායම පුංචි ලෝකාන්තය නරඹා ආපසු යෑමට බසය කරා ගමන් කර ඇත. එහිදී මෙම පිරිසගෙන් එම්. ජි. නිලුපුල් සුජින්තක නමැති 13 හැවිරිදි ළමයා සහ ඔහුගේ ආච්චි අම්මා වන 58 හැවිරිදි ඩබ්ලිව්. ජී. රංජනී යන අය මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතුරුදන් වී තිබුණි. ඉකුත් 16 දා දහවල් 12 පමණ සිට මොවුන් කැලෑවේ අතරමංව සිටියහ.
පුංචි ලෝකාන්තය නැරැඹීමට ගිය පිරිසගෙන් දෙදෙනකු නොපැමිණීම නිසා ඔවුන් සමග පැමිණි අයෙකු මෙම අතුරුදන්වීම පිළිබඳ ලග්ගල පොලිසිය දැනුවත් කර ඇත.
පැමිණිළි ලැබුණ වහාම ලග්ගල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍ර.පො.ප. හරිස්චන්ද්‍ර මහතා යුද හමුදා, වනජීවි, සංචාරක පොලිසියේ නිලධාරීන් සහ ගම්වැසියන් එක්ව කණ්ඩායම් 7කට බෙදී මෙහෙයුමක් සිදුකර රාත්‍රී 1 වන තෙක් සොයා බැලුවද අතුරුදන් වූ දෙදෙනා සොයා ගැනීමට නොහැකි විය.
අතුරුදන් වී සිටි අයගේ ජංගම දුරකතනයේ බැටරිය බැස ඇති නිසා මෙහෙයුම් සිදුකළ පුද්ගලයන්ට කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය. පසුදින එනම් පෙරේදා (17 දා) නැවත මෙහෙයුම් කණ්ඩායම් සොයා බලද්දී අතුරුදන්ව සිටි නිලුපුල් සුජින්තක සහ රංජනී නමැති දෙදෙනා සොයා ගැනීමට රිවර්ස්ටන් සංචාරක පොලිසියේ නිලධාරීන් කණ්ඩායම සමත් විය.
රෙඩ්බානා ඇල්ල කඳුවැටියේ සිට සොයාගත් මේ දෙදෙනා කිලෝමීටර් 6ක් පමණ දුරක් කැලෑවේ ගමන් ගනිද්දී රෑ බෝවීම නිසා දිය ඇල්ලක් ළඟ රාත්‍රි කාලයේ නැවතී ඇති බව ලග්ගල පොලිසියේ නිලධාරීන් සඳහන් කළේය.
සුජින්තක දරුවා බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළාය.
“රාත්‍රී ආච්චි සමග ගල් පොත්ත උඩ සිටින විට අලි 7 දෙනෙක් පමණ ආවා. ආච්චිට
ගහකට නගින්න කියා මමත් ගහකට ගොඩවුණා. අලි අපි ඉන්න දෙසට ඇවිත් නැවත කැලෑව තුළට ගියා. උදේ තමයි මේ මාමලා ආවේ. රාත්‍රී කාලයේ අපිට ඇසුණා මාමලා කෑගහන ශබ්දය. අපේ ෆෝන් එකේ බැටරිය බැහැල තිබුණෙ. කූඩැල්ලො අපේ කකුල් කෑව නිසා ලග්ගල රෝහලේ ඉන්න වුණා”
209 Views
Comments