“ඇයි මේ සිහිය තියන ලෙඩ්ඩු මේකට දාන්නෙ? ඩොක්ටර් ඔක්කොම ඉස්සරහා බැන්නා, විනාඩි 10ක් යන්නත් කලින් ඒ රෝගීයා මිය ගියා..” - පුෂ්පා රම්‍යානිගෙන් හෙළිදරවුවක්

පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නෙ වෘත්තියෙන් හෙද නිළධාරිනියක් විදිහට ඔබ කවුරුත් දැන අඳුනන චරිතයක්.
ඒ වගේම ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා විවිධ දැනුම්වත් කිරීම් එහෙමත් සිදු කරනවා.
මේ තියෙන්නෙත් ඒ විදිහට ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබූ ඇගේ අතීත කතාවක්..
පුෂ්පා රම්‍යානි සොයිසා වන මාගේ දිවි මග තවත් එක් කථාංගයක්...
නව හදිසි අනතුරු අංශයේ ආරම්භයත් සමග ජීවිතය අතිශය සංකීර්ණ විය. එහි කොහේ බැලුවත් කොහේ හිටියත්
නිතරම රෝගීන්ගෙන් පිරී ඉතිරී තිබුණි.
නව හදිසි අනතුරු අංශය විවෘතකර හරියටම මාස තුනයි.
එනම්1991 ජූනි මස 21 වනදා මරාගෙන මැරෙන එල්. ටී. ටී. ඊ බෝම්බකරුවෙකු විසින් කොළඹ ෆ්ලවර්
පාරේ මෙහෙයුම් කාර්යලය අසල Joint Operations Command (JOC) බෝම්භයක් පුපුරුවා හරින ලදී.
ෆ්ලවර් පාරේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයුම් මූලස්ථානය 1991 ජුනි 21 වන දින උදෑසන
විශේෂ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබුනේ එවකට කොළඹ අගරදගුරු පූජ්ය නිකලස් මාකස් ප්රනාන්දු
පූජකතුමා නැගෙනහිර පළාතේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ ක්රම සහ විධි
සාකච්ඡා කිරීම සඳහා බව වාර්ථා කර තිබුණී.
එනමුදු වගකිව යුතු අය නියමිත වේලාවට එම ස්ථානයට නොපැමිණීම හේතුවෙන් රැස්වීම ආරම්භ වීමට ටික
වේලාවකට පෙර එල්.ටී.ටී.ඊ ය මෙම පිපිරීම සිදු කල බව සදහන් වේ.මෙම ප්‍රහාරයෙන් භට පිරිස්
එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිලධාරීන් පස් දෙනෙකු ඇතුළු 72 දෙනෙකු තුවාල ලබා
තිබේ. එයින් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් 85 දෙනෙකු තුවාල ලැබීය.
මෙම පණිවිඩය ලබාගත් විගස එවකට මා සේවය කල දැඩි සත්කාර ඒකකයේ මාරු කල හැකි සියලු රෝගීන්
වෙනත් ඒකක සහ දැඩි අධීක්ෂණ ඒකක වෙත යොමු කර අපගේ ඒකකය නව රෝගීන් භාර ගැනීම සදහා
සූදානම් කළෙමු. එසැනින් දිගින් දිගටම පැමිණි සියලු අසාධ්‍ය රෝගීන් සදහා අප සියල්ලෝම හැකි උපරිම
අයුරින් ප්‍රතිකාර අරම්භ කළෙමු. එතැන් සිට දින ගණනාවක් යනතෙක්ම ඔවුන් සියලු දෙනාම මරණයෙන්
මුදා ගැනීම සදහා අප අකණ්ඩ මෙහෙයුමක යෙදී සිටියෙමු.
එය අප නව හදිසි අනතුරු අංශයේදී මුහුණ දුන් ප්‍රතම ආපදාවයි. කෙසේ හෝ නිවැරදි
කළමණාකාරිත්වයෙන් මෙම සියලුම රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීමට සැමට හැකියාවක්
තිබිණි. . මෙම කාරණාවත් සමගම හදිසි අනතුරු අංශයේ රෝහල් “ආපදා සැළැස්ම” සදහා දැඩි
අවධානය යොමු කර තිබූ අතර රෝහලක ප්‍රතම වතාවට “ආපදා සැළැස්ම” හදුන්වා දුන්නේද මෙම
රෝහලෙන්ය, ඉන් අනතුරුව සිදුවූ සෑම ආපදාවක් සදහාම මෙම සැළැස්ම හේතුවෙන් රෝගී සත්කාරයට
මෙන්ම , සත්කාර ලබාදෙන්නන් සදහාද එය මහගු පිටිවහලක් විය.
මෙම කාරණාවන් මෙළෙස සිදුවෙද්දී නැවතත් මා හට සේවා මාරුවක් ලැබිණි. එනම් නව හදිසි අනතුරු
අංශයේ රෝගීන් ඇතුළත්වන ස්ථානයට වහාම යා යුතු බවය. මෙය දඩුවම් මාරුකිරීමක් නොවන බවත් මාගේ
සේවාවන් නිරීක්ෂණය කල පිංලන්ත විශේෂඥයින්ගේ යෝජනාවක් බවත් පැහැදිලිවූයෙන් මා හට එම ස්ථානයට
යායුතුම විය.
එහෙත් නැවතත් මගේ සිත ගොඩා.....ක් රිදිණි. දැඩි සත්කාර ඒකකයේ රෝගීන් වෙනුවෙන් මා සේවාව
සිදු කලේ අතිශය සතුටිනි. මරණයත් සමග පොර බදින ඔවුන් බේරා ගත්තම මට ලැබෙන සතුට වචනයෙන් කිව
නොහැකිය. එම සේවාව අතහැර යාම පිළිබද මට තිබුණේ දැඩි දුකකි.එබැවින් මා විවේක කාමරයට ගොස්
හිතේ හැටියට හඩා සිත සුවපත් කර ගත්තෙමි.
පසුදින මා රෝගීන් භාරගන්නා එම ස්ථානයට සේවා වාර්ථා කළෙමි . එහි තිබූ එකම පුටුවේ වාඩිවුයෙමි.
එහෙත් ඒ සැණින් පැමිණි රෝගීයා සමග වැළ නොකැඩී දිනකට රෝගීන් 250 ක් තනිවම වර්ගීකරණය කිරීමට
මා හට සිදුවිය. එය මට නම් කිසිදු වෙහෙසක් නොවීය. එය දුටු මා නැවතත් නව පන්නරයකින් සේවාව
ආරම්භ කළෙමි. ඒ පිළිබද මට දැණුනේ සතුටකි.
එනමුදු හදිසි අනතුරු අංශයේ ආරම්භයේම ඇති මෙම ඒකකයට පැමිණිමත් සමග බොහෝ අභියෝග වලට මුහුණ
දීමට මා හට සිදුවිණි. එය එක් පාර්ශ්වයකින් පමණක් නොව හෙදියන්ද, වෛද්‍යවරුන්ද, කණිෂ්ඨ කාර්ය
මංඩළයද මාගේ පැමිණිම පිළිබද බැලුවේ වපර ඇසකිණි.
එනම් එම අංශයට පැමිණෙන සියලු රෝගීන් අනතුරු තත්වයට අනුව කොටස් තුනකට බෙදිය යුතුය. එනම් ඉතා
අසාධ්‍ය රෝගීන්- ප්‍රතිජීවණ කාමරයටත්, අවධානය යොමු කල යුතු රෝගීන් - ප්‍රමුඛතාව 2 ටත් ,
ඇවිදින සහ අවධානමක් නොමැති රෝගීන් -ප්‍රමුඛතාවය 3 සදහාද වෙන් කලයුතු අතර ඉතා සුලු තත්වයේ
අනතුරු වූ රෝගීන් සුලු කාලයක් නිරීක්ෂණය කර බලා නිවස කරා යැවීමට හැකි වනසේ රැක බලා ගැනීමට
නිරීක්ෂණ ස්ථානයක්ද බාහිර රෝගී අංශයේ සකසා තිබූ බැවින් මාගේ ප්‍රමුඛ කාර්යය වූයේ හදිසි අනතුරු
වලට ලක්වූ රෝගීන් ප්‍රතිකාර සදහා එම ස්ථාන වලට යොමු කිරීමය. මෙවන් ක්‍රමයක් අප රටේ රෝහල්
වල ආරම්භ කල ප්‍රථම අවස්ථාව මෙය බැවින් රෝගීන් වර්ගීකරණය කළ මෙම ඒකකය පිළිබද සැමගේ
අවධානය යොමු වී තිබිණි.
දිනක් පපුව මත පිහි ඇනුමක් ඇති රෝගියෙකු හදිසි අනතුරු අංශයට පැමිණ තිබිණි. මගේ දැණුමට අනුව එම
රෝගියා සදහා මා යෝජනා කලේ ප්‍රතිජීවණ කාමරයයි. මා එම තීන්දුව ගත්තේ ඔහුගේ ජෛව ලක්ෂණ
මතය. එනම් ඔහුගේ නාඩි ගැස්ම 120කට වැඩි වූ අතර හුස්ම ගන්නා ආකාරය කෙටි හුස්මවූ අතර එය
සාමාන්ය අගය ඉක්මවා තිබිණි. අධික ලෙස දහඩිය දමා නොසන්සුන්ව සිටි ඔහුගේ ස්වභාවය කම්පනයක පෙර
නිමිති බව මා වටහා ගත් බැවින් මා අසල ඇති සීනුව නාද කර රෝගියා ප්‍රතිජීවණ කාමරයට යොමු කළෙමි.
එසැනින් පැමිණි වෛද්‍යවරයා සිටියේ නොරුස්නා මුහුණකින්ය. ඔහු පැමිණී විගස රෝගියාගේ බැලුවේ එක්
දෙයකි. එනම් රෝගියා සිහි තත්වයේ සිටින බව පමණි. ඉන්පසු සියලු දෙනා ඉදිරිපිට මා හට සැරෙන් කථා
කලේය. “ඇයි මේ සිහිය තියන ලෙඩ්ඩු මේකට දාන්නෙ? දන්නැත්නම් ඉගෙන ගෙන එන්න අපිව රස්තියාදු
නොකර” ඔහුගේ චචන වල තිබුනේ කනිෂ්ඨ හෙදියක්වූ මාගේ තීන්දුව පිළිගැනීමට ඇති නොකැමැත්ත බව මනාව
පෙන්නුම් කෙරිනි. මා ද රෝගියා වෙනුවෙන් නොපසුබටව මගේ අදහස ප්‍රකාශ කළෙමි. “ සොරි ඩොක්ටර්
මට හිතෙන විධියට රෝගියා කම්පනයක සිටින්නේ . ඩොක්ටර් හිතනවනම් අනිත් පැත්තට ගන්න “ යැයි මා
ඉතාමත් නිවුණු හඩින් ඔහුට ගෞරවයෙන් පවසා මා එම ස්ථානයෙන් ඉවත් වුයෙමි. වෛද්‍යවරයාට සහයට
එම ස්ථානයේ සිටි සියලුම කාර්ය මංඩළ මාගේ නොදැණුවත්කමට සිනහසීය .
නමුත් මා කිවූ පරිදිම එයට විනාඩි 10ක් යාමට පෙර රෝගියා බරපතල තත්ත්වයට පැමිණ මිය ගියහ.
මෙහිදී එම වෛද්‍යවරුන් සහ සියලු කාර්ය මංඩළ ඔහුගේ ජීවිතය රැක ගැනීමට මහන්සි වූ නමුත් රෝගියාගේ
අනතුරෙහි බරපතලකම හේතුවෙන් මෙය සිදුවූ බවද කිව යුතුමය.
කෙසේ නමුත් මෙහිදී එක් අයෙක් දෙන්නෙක් හැරෙන්නට බොහෝ වෛද්‍යවරුන් මට සහය දැක්වූ බවද කිව
යුතුමය . ඔවුන් මා හට සහෝදරයන් මෙනි. කාලයක් ගත වන විට බොහෝ අය හදිසි අනතුරු අංශයට
ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සකස් කල මෙම ඒකකය සහ එහිදී මා කල කාර්යය පිළිබදව අවබෝධයක් ලබා
ගත් බවද සදහන් කල යුතුය.
හදිසි අනතුරු අංශයේ සියලු රෝගීන් බාර ගන්නා මෙම ස්ථානයේ බොහෝ දිනවල පැය 24 සේවාවන් සිදු
කිරීමට සිදුවිය. රාත්‍රි සේවාව අතිශය කර්කෂවුයේ මෙම ඒකකයට කිසිදු තැනක විවේක කාමරයක්
නොමැතිවීමය. රෝගී සත්කාර සේවාවන්හිදී සෞඛ්‍ය කාර්ය මංඩළ සදහා යම් විවේකයක් අවශ්‍යය. එය
අඛන්ඩ සත්කාර පවත්වා ගැනීමට සහයක් වන්නේය.
එබැවින් විවිධ අවශ්‍යතා සදහා විවිධ ස්ථාන කරා යාමට මා හට සිදුවීය. රාත්‍රි සේවා මුරවලදී මා
හට විවේක ගැනීම සදහා මා පෙර සේවාව කල දැඩි සත්කාර ඒකකයට යෑමට පුරුදු වූයෙමි. මධ්‍යම
රාත්රී 2 ට යන මා පැය 2ක් විවේක ගෙන නැවත සේවාව අකන්ඩව සිදු කළෙමි.
දිනක් රාත්‍රි සේවාවේ මා නිතර වෙමින් සිටියදී සුපුරුදු පරිදිම දැඩි සත්කාර ඒකකයට ගොස් විවේක
කාමරයේ යතුර ගත්තෙමි. ඉන්පසු විවේක ගන්නා හෙදියන්ට බාධා නොවන පරිදි යතුරෙන් දොර ඇරියෙමි.
එහෙත් දොර ඇරීමට බැරිය. මා කිහිප වරක් එය අරින්නට උත්සාහ කල විට මා හට පැහැදිලි වූයේ එක්
දෙයකි. එනම් දොර ඇරීමට බැරි ලෙස කාමරය ඇතුලෙන් කබඩ් එකක් දොරට හේත්තු කර ඇති බවය.
මා හට සියල්ල පැහැදිලිය. මා කිසිවක් නෙවුනාසේ නැවත යතුර ඒකකය වෙත භාර දී නැවතත් සේවා
ස්ථානයට ගොස් එළිවෙනකම්ම පුටුවේ වාඩිවී සිටියෙමි.
මට එම දිනය හෙදකම ගැන කළකිරුණ තවත් එක් දිනයකි.
මා වසර ගානක් සේවය කර ඇති එම ඒකකය , ඔවුනට විවේක කාමරයක් නොමැතිවිට සටන් කර ලබා දුන්
එම කාමරය දැන් මට අහිමිය. හිතට දුකක් ඇති වුනාට මං තරහා නැහැ. හිත හදා ගත්තා නැවත එහි
නොයන්නට........
මා බොහෝ කාලයක් රෝගී වර්ගීකරණ ඒකකයේ රාත්‍රිය පුරාවටම නිදි වර්ජිතව සේවාව කල අතර වෙහෙස
වූ සෑම මොහොතේම රෝගීන් ගැන සිතා සතුටු වූයෙමි.
තවත් කොටසක් ඉදිරියට..
-උපුටා ගැනීමකි-
361 Views
Comments