“ඒ බෝතලයෙන් හොඳට වෙරි වුණු හින්දා අපි තව බෝට්ටුවකට ටිකක් දාලා දුන්නා” - ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේ මාරකයෙන් දිවි බේරාගත් ධීවරයා දැන් කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

“ඒ බෝතලයෙන් හොඳට වෙරි වුණු හින්දා අපි තව බෝට්ටුවකට ටිකක් දාලා දුන්නා” - ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේ මාරකයෙන් දිවි බේරාගත් ධීවරයා දැන් කියන කතාව

“ඒ බෝතලයෙන් හොඳට වෙරි වුණු හින්දා අපි තව බෝට්ටුවකට ටිකක් දාලා දුන්නා” - ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේ මාරකයෙන් දිවි බේරාගත් ධීවරයා දැන් කියන කතාව

සමස්ත ලංකාවම කම්පාවට පත් කරමින් ඩෙවෝන් 05 බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් පස් දෙනෙකු අවසන් ගමන් ගියේ පසුගිය 29 සහ 30 යන දෙදින තුළයි.

 

ඒ, මුහුදේ පා වී පැමිණි බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීම හේතුවෙන්.

 

ඩෙවෝන් 05 නමැති අදාළ යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු තංගල්ලෙන් මුහුදු ගොස් තිබුණා.

 

අදාළ දියර වර්ගය පානය කිරීමෙන් අනතුරුව එහි සිටි පස් දෙනෙකු මිය ගියා.

 

එක් ධීවරයෙකු තම ජීවිතය බේරාගැනීමට සමත් වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු මව්බිම පුවත්පතට අදහස් පළ කර තිබුණේ මෙලෙසින්..

 

“මම ඒ වෙලාවේ බෝට්ටුව පදවමින් සිටියේ. ඒ වෙලාවේ අපේ අය දවල්ට බත් කකා හිටියේ. අපේ කෙනෙක් දැක්කා මුහුදේ බෝතලයක් පාවෙවී තිබෙනවා. පස්සේ ස්කීපර් මට කිව්වා බෝට්ටුව නතර කරන්න කියලා. අපේ සුද්දා බැහැල ඒ බෝතලේ ගත්තා.

 

එදා දවස 28. අපි හැමෝම ඒ දවල්ට කන වෙලාව. ඉතින් මේ ලොකු බෝතලේ සුද්දා මුහුදට බැහැලා අරගෙන ආවා. අපේ සුදු මාමා කිව්වා මේක පිටරට හොඳ විස්කි බෝතලයක් කියලා. ඉතිං අපි ඒක කඩලා ගඳ සුවඳ බලලා බොන්න පටන් ගත්තා. බොන්න කලින් අපි සෙල්ෆියකුත් ගැහුවා.

 

කොටින්ම අපි ලීටරයක්වත් බිව්වේ නැහැ. අපි හැමෝම වෙරි වුණා. මම බිව්වෙ ටිකයි. මේ බෝතලය හොඳට වෙරි වුණු හින්දා අපි තව බෝට්ටුවකට මේකෙන් ටිකක් දාලා දුන්නා. ඒත් දැන් මම දන්නවා අපේ ආරංචිය ආවට පස්සේ එයාලා ඒක විසි කළා කියලා. අපේ එකා දෙන්නා මැරෙද්දි අපි ඒ බෝතලේ විසිකරලා දැම්මා.

 

28 වෙනිදා හවස අපි බීලා රෑ සින්දු කියලා පොඩි ජොලියකුත් දාලා රෑ එකොළහට විතර අපි නිදාගත්තා. එදා රෑ අපි එකට නැටුවා. හැමෝම සතුටෙන් නිදා ගත්තේ

 

පහුවෙනිදා උදේ අපි පස්දෙනා ඇහැරුණා. ස්කීපර් ඇහැරෙන්නේ නැති හින්ද අපි බැලුවා. බලනකොට එයා මැරිලා.

 

මගේ ඇස් දෙකත් හරියට පේන්නෙ නෑ මේ වෙලාවේ. අපේ අනිත් ධීවරයන්ගේ ඇසුත් පේන්නේ නැහැ. බොඳ වෙලා වගේ හැමදේම පේන්නේ. අපේ පපුව රිදෙනවා. අපිට වමනේ යනවා බඩේලිය යනවා. පුදුම දුකක් අපි සේරම වින්දේ. පස්සේ මම රේඩියෝ සංඥා මාර්ගයෙන් මේ බව දැනුම් දුන්නා. ඊට පස්සේ පැය කිහිපයකට පස්සෙ අපේ අනිත් බෝට්ටුව අපි ගාවට ආවා. දවල් වෙද්දි පැතුමුයි සුද්දයි නැතිවුනා. 29 වෙනිදා රෑ වෙනකොට බෝට්ටුවට ඉතුරු වුණේ මමයි සුදු මාමයි විතරයි.

 

අපිට අපේ අය වෛද්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ ඔස්සේ මම පොල් කිරි බිව්වා. පස්සේ ඩෙවෝන් දෙක යාත්‍රාවට මාවයි සුදු මාමාවයි දාගෙන ලොකු නැවක් ගාවට අරගෙන ගියා. ඒ නැවෙන් අපිව ගත්තා ඒත් අපිට වතුර ටිකක්වත් දුන්නේ නැහැ. මට තේරුණේ ඔවුන්ටත් හිතාගන්න බැරි වුණා අපිට වෙලා තියෙන දේ ගැන. ඒ නිසා ඔන්න අපිට ප්‍රතිකාර කළේ නැහැ.

 

පස්සේ නාවික හමුදාවෙන් ආපු නෞකාවට අපිව දාගත්තට පස්සේ මට ප්‍රතිකාර කළා. ඒත් ඒ වෙනකොට සුදු මාමා මං ළඟ නෑ එයා සිංගප්පූරු නැවේදිම මියගියා.

 

මට මේක හීනයක්. අද මට මගේ ළමයි දෙන්නා ගාව ඉන්න වාසනාව ලැබුණා. ඒත් මගේ යාළුවෝ එක්කෙනෙක්වත් මං ළඟ නෑ.”

views

355 Views

Comments

arrow-up