“ඇයි මාව තනි කළේ... මට හිටියේ ඔයා විතරයි මල්ලියේ... ” - රවිඳුට මාරකයක් වූ සරුංගලය...

වෙසක් සඳ බැස ගියේය. පොසොන් සඳ උදා වන්නේය. පොසොන් අසිරිය අත්විඳින්නට ඇතැමකු මේ වන විටත් සූදානම් වෙමිනි.
දික්කුඹුර අම්පාවිල ගම්මානයේ ඩී. රවිඳු නුවන් හා ප්‍රවීන් රශ්මික පසුගිය සිකුරාදා සචින් ජනකගේ නිවෙසට එක් වූයේද පොසොන් කුඩු තනන්නය.
එහි පැයක් පමණ ගත කළ රවිඳු හා ප්‍රවීන් ඉන් නික්ම ගියේ ලස්සන සරුංගලයක් සොයාගෙනය. සචින් ජනක පවුලේ අය සමඟ එක් වී කූඩු තැනීම නිසා මිතුරන් දෙදෙනා හා එක්ව නොයන්නට ඇත.
රවිඳුගේ නිවෙස ආසන්නේ අඩි 10ක් පමණ උස් ගසක මේ සරුංගලය එල්ලෙමින් තිබිණි. ඇදහැලෙන වර්ෂාවෙන් මේ සරුංගලයේ කොළ ගැලවී ගොසිනි.
ඉතිරිව තිබුණේ සැකිල්ල පමණි. මෙය ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව මිතුරන් දෙදෙනා දැන සිටින්නට ඇත.
මේ නිසාම ගසේ අත්ත කපන්න තීරණය විය. ඒ සඳහා පිහියක්ද රැගෙනවිත් තිබිණි. ප්‍රවීන් රශ්මික ගසේ අත්ත කැපුවේය. ටික වේලාවක් යත්ම ඔහු වෙසෙසට පත්ව ඇති බවත් දුටු රවිඳු “බැහැපන්… මං කපන්නම්“ කීය.
රවිඳු ගසට නැග්ගේය. පිහි පහරවල් කිහිපයක් එල්ල කළේය. වැඩි වේලාක් නොගියේය. මහා සද්දයක් නැඟිණි. එක්වරම ගසේ අත්තද සමඟ රවිඳු බිමට වැටුණේය. සිහිසුන්ව ඔහු බිම වැතිර සිටියේය. ප්‍රවීන්ගේ කෑගැසීමත් සමඟ කිහිප දෙනෙක්ම ඒ ස්ථානයට එක් වූහ. ඉක්මනින්ම රවිඳු ඉමදූව දිසා රෝහලට රැගෙන ආවේය. එහෙත් ඒ වන විටත් රවිඳු ජීවිතයෙන් සමු ගෙනය.
රවිඳු යනු ජීවිතයේ අනෙක් විධ දුක උරුම කරගත් සිසුවෙකි. ඔහුගේ පියා මිය ගියේ ඔහුට අවුරුදු 5ක් වෙද්දී හදිසි හෘදයාබාධයකිනි. ඉන් පසුව එකම සොහොයුරිය වූ අක්කාත්, රවිඳුත් හැදී වැඩුණේ මවගේ රැකවරණයේය.
ඒ වෙනුවෙන් මව කළ හැකි හැම දෙයක්ම කළේ මේ දරුවන් දෙදෙනා යහපත් සමාජයකට ගෙන යන්නටය. එහෙත් වසර කිහිපයකට පෙර මව අවාසනාවන්ත වකුගඩු රෝගයකට ගොදුරු වූවාය. ඉන් පීඩා විඳි ඇය මීට අවුරුදු පහකට පෙර මිය ගියේය.
ඉන් පසුව අසල්වැසි සජිත් මේ යෞවනයේ එළඹෙමින් සිටි වැඩිමහල් දියණිය හෙවත් රවිඳුගේ අක්කාට රැකවරණය දුන්නේ ඇය තම ජීවන සහකාරිය බවට පත් කරගනිමිනි.
රවිඳුද ඔවුන්ගේ රැකවරණයෙහි හැදී වැඩෙමින් මෙවර අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම්ව සිටියේය. මාවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා අනතුරුව දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු කා අතරත් ප්‍රිය මනාප අහිංසක චරිතයක් විය.
මේ තරම් දුරක් මෙවන් දුක් ගැහැට මැද ගලා ආ රවිඳුගේ ජීවිතය අවසන් වීමට නියමිත වී තිබුණේ මෙවන්
ඛේදජනක ආකාරටද?
- දිනමිණ
8729 Views
Comments