දියලු‍ම ඇල්ල උඩ කඳවුරු බැඳීමේ භයන්කාරත්වය කියාදී අලි පහරින් සමුගත් තරුණිය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

දියලු‍ම ඇල්ල උඩ කඳවුරු බැඳීමේ භයන්කාරත්වය කියාදී අලි පහරින් සමුගත් තරුණිය (PHOTOS)

දියලු‍ම ඇල්ල උඩ කඳවුරු බැඳීමේ භයන්කාරත්වය කියාදී අලි පහරින් සමුගත් තරුණිය (PHOTOS)

උඩ දියලුම මෑතකදී ප්‍රසිද්ධියට පත් වූ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක් වන අතර, දියලුම ඇල්ලේ උඩ කූඩාරම් කඳවුරු ගසා රාත්‍රීය ගත කිරීමට ද සංචාරකයන්ට මුදලට පැකේජ ලබාදෙන තැනකි.

 

එලෙස ලබාගත් පැකේජයකට අනුව කූඩාරමකට ගොස් තම පෙම්වතා සමග නැවතී සිටි තරුෂි කවිෂා නමැති විසි තුන් හැවිරිදි තරුණිය රෑ නිදා සිටියදී අලියෙකු පහරදීමකින් මියගිය බවට ශෝචනීය පුවතක් ඊයේ අසන්නට ලැබුණි.

 

මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිව සිටි ලබන සතියේ හෙදියක ලෙස වැඩ භාරගන්නා තෙක් බෙහෙත් ශාලාවක සේවය කළ පුහුණු හෙදියක මෙලෙස ජීවිතක්ෂයට පත්විය. ඇය සමග සිටි පෙම්වතා 22 හැවිරිදි කුරුණෑගල වාරියපොල පදිංචි අයෙකි. ඔහුද මෙම ප්‍රහාරය නිසා බරපතල තුවාල ලබා තිබේ.

 

යහළුවන් දෙදෙනෙකු සමග උඩදියලුමට පැමිණ ඇති ඔවුන් දෙදෙනා උඩදියලුම සිටිය දී අනෙක් දෙදෙනා හපුතලේ ප්‍රදේශයට ගිය බව පැවසිණි.

 


මෙම යුවළ උඩ දියළුම ඇල්ල අසල කුඩාරමක් ගසාගෙන රාත්‍රිය ගත කර තිබෙන්නේ එසේ කූඩාරම් ලබාදෙන පැකේජයකට දායක වෙමිනි.

 

ඔවුන් කූඩාරම් ගැසූ තැන තවත් කූඩාරම් තිබී නැති අතර එය ගැටලුකාරී තත්වයකි. උඩ දියලුම කූඩාරම් කුලියට සපයන පොදු ස්ථානයෙන් බැහැරව වනයට ආසන්නව අලින් රංචු ගැවසෙන තැන්වල කූඩාරම් ගැසීම තහනම් කර ඇත.හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව පවසන්නේ යුවළ නතරවී ඇති ස්ථානය අලි හිරිහැර පවතින නිසා සංචාරකයින්ට  සවස 5.00 න් පසු නැරඹීමට පවා තහනම් කරන ලද ස්ථානයක් වන බවයි.

 


කෙසේ වෙතත් තැරැව්කරුවන් දෙදෙනෙකු ඔවුන්ට මෙම ස්ථානයේ කූඩාරම් ගැසීමට මුදල් අය කර අවශ්‍ය ආම්පන්න සපයා ඇති අතර ඔවුන් යුවළ කුඩාරමේ සිටියදී මෙසේ අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාත්‍රියේය.
තනි අලියෙකු පැමිණ ඔවුන් සිටි කුඩාරම කඩා බිඳ දමා තිබූ අයුරු පසුව දක්නට ලැබිණි.

 

අලියකු පහර දුන් බව එම තරුණයා රාත්‍රියේ එම සිදුවීම සිදුවන අවස්ථාවේ දුරකථනයෙන් හපුතලේ වෙත ගිය අනෙක් යාළුවන් දෙන්නාට දැනුම් දී ඇති නමුත් ඔවුන් ඒ ගැන පොලිසියට දැනුම් දී ඇත්තේ පසුදා උදෑසන බව පොලිසිය කියයි.

 

එම දැනුම් දීමට අනුව පොලිසිය ප්‍රදේශවාසීන්ද සමග එම ස්ථානයට ඊයේ උදේ යන විටත් අලියා එම ස්ථානයේ රැඳී සිට ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා අලියා පළවා හැරිය බව පොලිසිය සඳහන් කරයි.
කූඩාරම ආසන්නයේ අලියාගේ පහරකෑමට ලක්ව තුවල ලබා කෙඳිරිගාමින් සිටි තරුණායත් මියගිය තරුණියගේ සිරුරත් හමුවිය.

 

සුවසැරියේ ගිලන් රථයක් පැමිණ තුවාල කරුවන් රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ තරුණිය මිය ගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

 

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගම්මාචාරිගේ තරුෂි කවිෂා නමැති 23 හැවිරිදි තරුණියකි. ඇය මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය සඳහන් කරයි.



බරපතළ තුවාල ලැබූ තරුණයා 22 හැවිරිදි වියේ පසුවන අතර ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මියගිය තරුණිය මාතර පෞද්ගලික බෙහෙත් ශාලාවක සේවය කරන බවද තරුණයා වාරිය පොළ පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහායකයෙකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය පවසයි.

 


වල් අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර ඇත.

 

මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් අලි රංචු කීපයක් ගැවසෙන අතර ඇතැම් දිනවල දහවල් කාලයේ ද මෙම ප්‍රදේශයට වල් අලි පැමිණෙන බව ද ප්‍රදේශවාසීහු පවසති.
මෙම තරුණියට සහ තරුණයාට පහර දී ඇත්තේ රංචුවක් නොව තනි අලියෙකි.

 

දවල් කාලයේ මෙම ස්ථානය නැරඹීමට එන අය සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව සනීපාරක්ෂක පහසුකම් ද සපයා ඇති අතර එම ස්ථානයට පැමිණෙන වැඩිහිටියෙකුගෙන් රුපියල් 50ක්ද බාලවයස්කරුවකුගෙන් රුපියල් 20 ක්ද අය කරයි.

 

විදේශ සංචාරකයන්ගෙන් රුපියල් 3500 ක් අය කෙරේ. දිනපතා පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා එම ස්ථානය නැරඹිය හැකි අතර සවස 5.00 න් පසුව එම ස්ථානයට ඇතුළුවීම තහනම් කර ඇත.



මෙම යුවළ එම ස්ථානයට අනවසරයෙන් ඇතුළු වී ඇති බව ද, ටිකට්පත් ලබාගෙන නොමැති බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් වයි. එම්.යූ යාපා මහතා පැවසීය.

 


කෙසේ නමුත් මුදලට පැකේජ විකිණිම දිගටම සිදුව තිබේ.

 


මෙම යුවළට අනවසරයෙන් ඇතුළුවන්නටත් අන්තරායකාරී තැනක කඳවුරු බැඳීමටත් පහසුකම් සැලසූ දෙන්නෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය මේ අතර පවසයි

 

තරුණිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අනාරක්ෂිත ලෙස කඳවුරු බැදීමට ඉඩ ලබා දීම සහ ඊට සහය ලබා දීම මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා තිබේ.33 සහ 24 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන ඔවුන් හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

views

798 Views

Comments

arrow-up