“ඉස්සරහ තිබුණෙ ලොකු කනත්තක්, මිනිස්සු එන්නත් බයයි” - කනත්තක්, රෝහලක් බවට පත්කළ විස්මිත හපන්කම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

“ඉස්සරහ තිබුණෙ ලොකු කනත්තක්, මිනිස්සු එන්නත් බයයි” - කනත්තක්, රෝහලක් බවට පත්කළ විස්මිත හපන්කම

“ඉස්සරහ තිබුණෙ ලොකු කනත්තක්, මිනිස්සු එන්නත් බයයි” - කනත්තක්, රෝහලක් බවට පත්කළ විස්මිත හපන්කම

මිය ගිය මිනිසුන් සිටි තැනක, ජීවත්ව සිටින මිනිසුන් වෙනුවෙන් වෙද මැදුරක්. තව විදිහකින් කිව්වොත් සොහොන් බිමක ඉදි වූ රෝහලක්” 2022 වසරේ බස්නාහිර පළාත් හොඳම ප්‍රාදේශීය රෝහල ලෙස තේරී පත් වූ කළුතර කටුගහහේන ප්‍රාදේශීය රෝහල එවැන්නක්. 


මේ අපූරු රෝහල ගැන අසා දැන ගන්නට එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරි රංජිත් දිසානායක මහතා සම්බන්ධ කර ගත්තේ ඊට නියම සුදුස්සා ඔහුම වන බැවිනි. 

 

“මම මේ රෝහලට එන්නෙ 2002දී. ඒ මගේ පළමුවැනි පත්වීම, මම එද්දි වාට්ටු දෙකක්, පොඩි ඕ.පී.ඩී. එකක් විතරයි තිබුණේ. නිල නිවෙස තිබුණෙත් ඉන්න පුළුවන් මට්ටමක නෙවෙයි. රාත්‍රි සේවා මුර කරද්දී මට නිදාගන්න සිද්ධ වුණේ පිරිමි වාට්ටුවෙ ඇඳක. රෝහල තාවකාලිකව වහලා දාලා වගෙයි තිබුණේ. ගම්වාසීන් සමඟ ඇති වූ පොඩි පොඩි ගැටලු‍කාරී තත්ත්වයන් නිසා ඒ වෙද්දී වෛද්‍යවරු කිහිපදෙනෙක්ම මාරුවෙලා ගිහිල්ලා තිබුණා. මම හිතන්නේ ඒවා ගම්මුන් සහ රෝහල අතර ඇති වෙලා තිබුණ සන්නිවේදන ගැටලු‍. එහෙම අර්බුදකාරී පසුබිමක තමයි මම මේ රෝහලේ වැඩ භාර ගන්නේ. එදා තිබුණ ව්‍යුහය සහ පාරිසරික තත්ත්වය සෑහෙන වෙනස්.


මම තනි වෛද්‍යවරයෙක් වශයෙන් තමයි වැඩ කරන්නේ. මේක ප්‍රජා මූලික රෝහලක්. ඒ අනුව අපි හැඩ ගැහෙන්න ඕන කියන තැන මම එදා ඉඳලම හිටියා. ඒකට ගම්වැසියන් එක්ක සහයෝගය සහ සම්බන්ධය අත්‍යවශ්‍යයි. එහෙම හිතලා ගමේ හාමුදුරුවො, විදුහල්පතිවරු, ජනතාව එක්ක කතාබහ කළා. විශේෂයෙන්ම වතු ප්‍රජාව එක්ක බද්ධ වෙලා වැඩ කළා. එදා ඒ දේවල් එතරම් රසවත් අත්දැකීම් නොවුණට දැන් හිතද්දි හරි රසවත්. මට ලොකු කණ්ඩායමක් හිටියෙ නෑ. හිටියේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් විතරයි. මම ඒ අයව ප්‍රථමාධාරවලට එහෙම පුහුණු කරලා ගත්තා. රෝහල ඉස්සරහ තිබුණෙ ලොකු කනත්තක්. මිනිස්සු එන්නත් බයයි, ඉන්නත් බයයි. ඒ නිසා රෝහල් සේවාව ලබාගන්න අකමැති බවක් මම දැක්කා. මොකද මිනී වළ දානවා, පුච්වනවා වගේ දේවල් නිතර පේනවනෙ. ඒක ඒ අයගේ මානසික සුවයට බාධාවක් වුණා. අපට මේ ප්‍රශ්නයට පිළියම් හොයන්න සිදු වුණා.

 


ඒ අනුව ගමේ මිනිස්සු එක්ක එකතු වෙලා රෝහල් භූමියේ බුදු පිළිමයක් හැදුවා. අසූහාරදාහෙ පහන් පූජාවක් කළා. ඒ පින්කමට ගම්මාන ඔක්කොගෙන්ම පිරිස එකතු වුණා. තව බොහෝ පින්කම් කළා. බරවා රෝගය ගැන දැනුවත් කරන්න රෝහලේ ප්‍රදර්ශනයක් පැවැත්වුවා. සුනාමිය වෙලාවෙ ගම් වැසියන් එක්ක එකතු වෙලා විපතට පත්වුණු අයට කෑම, බීම දුන්නා. ආධාර කළා. ඒ විදිහට ගමේ මිනිස්සු තුළ රෝහල ගැන විශ්වාසයක් ඇතිවන විදිහටත් ඔවුන්ට යහපතක් සිදුවන විදිහටත් වැඩසටහන් නිර්මාණය කළා. ඔය අතරෙ 2007දී මම රෝහලෙන් යනවා. 2013දී නැවත ආවේ සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩ කරලා ඒ අත්දැකීම් එක්ක ටිකක් පරිණතයි. සෞඛ්‍යය දියුණු කරන්න නම් දේවල් සැලසුම් කරන්න ඕනෑ කියන එක අවබෝධ කර ගෙන හිටියේ. මේ කනත්ත අයින් කරන්න ඕනෙ කියන තීරණයෙම තමයි හිටියේ. ඒ අනුව ඒකට මුලික අඩිතාලම දැම්මා. එතැනදි විරෝධතා ආවා’ ජනමතය හරව ගන්න ටිකක් අමාරු වුණා.

 


හැබැයි බොහෝ පිරිසක් මාත් එක්ක හිටියා. පොදු සුසාන භූමියක් අත්පත් කර ගැනීමේදී මූහුණ දෙන්න වෙන කාරණා ලොකු අභියෝගයක් වුණා. ඒත් මිනිස්සු වෙනුවෙන් එතැනදී මට රිස්ක් එකක් ගන්න වුණා. ඒක වෙන්නේ 2015 දී. එතකං අර මූලික දේවල් ටික සිද්ධ වෙවි ආවා. රෝහල ජනප්‍රිය කෙරෙව්වා. 2013,2014,2015 වසර තුනේම සමස්ත රාජ්‍ය ආයතන සඳහා වූ ඵලදායිතා සම්මානයේ දෙවැනි ස්ථානය අපි ලබා ගත්තා. ඒ කාලෙ අපට නර්ස් කෙනෙක්වත් හිටියේ නෑ මේ ජයග්‍රහණ ලැබීමත් එක්ක 2015දී අපිට නර්ස්ලා දෙන්නෙක් ලැබුණා. රෝහලෙන් ලබා දුන්න සේවාවන් සංඛ්‍යාව හයේ ඉඳලා තිස් හයක් දක්වා දියුණු කළා. ඒ අතර රජයෙන් මුදල් ටිකක් ලැබුණා. ඒත් අපිට මේ තෙමහල් ගොඩනැඟිල්ල හදා ගන්න තැනක් තිබුණේ නෑ. අපිට කනත්ත අයින් කරන්නම සිද්ධ වෙන්නේ මෙතැනදි. මිය ගිය අයට උපහාරයක් පිණිසත් ජීවත්වන අයට උපකාරයක් පිණිසත්. මේක කරන්න මට දැඩි වුවමනාවක් තිබුණා. ඒ වගේම සෑහෙන්න මහන්සි වෙන්න වුණා. මම නොගිය තැනක් නෑ.

 

ඉඩම් අමාත්‍යාංශයට නිතර යන්න වුණා ඇමතිලා, මන්ත්‍රිලා හම්බ වෙන්න වුණා. අන්තිමේ අපි ජයග්‍රහණය කළා. මේ බිල්ඩින් එකේ වැඩ ප්‍රතිපාදන නැතුව 2019 දී නැවතුණා. ඒත් කොරෝනා කාලේ ආපු නිසා පූජ්‍ය පක්ෂයට කොරෝනා මධ්‍යස්ථානයක් විදියට ඒ වෙලාවෙ විවෘත කර ගත්තා. එතැන එන්නත් ලබා දුන්නා. බෝ නොවන රෝග පරීක්ෂා කිරීම කළා. අපි කොරෝනා කාලේදී ජංගම රෝහලක් බවටත් පත් වුණා. ගෙයක් ගාණේ ගිහින් අවශ්‍ය ප්‍රතිකාර කළා. ඒ කාලෙ ඉන්ධන නැතුව ඇම්බියුලන්ස් නතර වුණා. මගෙ කාර් එකේ මම ලෙඩ්ඩු ගෙනිච්චා. ඕනෑම පුරවැසියකුට තමන්ගේ මූලික සෞඛ්‍ය අවශ්‍යතා ටික සාක්ෂාත් කර ගැනීමට සහාය වීම තමයි මෙවැනි රෝහලකින් සිද්ධ වෙන්නේ. ඉස්පිරිතාලයක් කියන්නේ බෙහෙත් ටික විතරක් දෙන තැනක් නෙවෙයි. ඊට එහා ගිය ක්‍රියාවලියක්. සෞඛ්‍යය සම්බන්ධ මේ කාරණාව තේරුම් ගත්ත වෛද්‍යවරු, සෞඛ්‍ය බලධාරීන්, රාජ්‍ය නායකයන් ඉන්නවා නම් ඒක රටකට හරි වටිනවා. ඕන ‍දොස්තර කෙනකුට ලෙඩ ගැන කියන්න පුළුවන්. හැබැයි අපි කැප වෙන්න ඕන සෞඛ්‍ය වෙනුවෙන්.

 


කෙනෙක්ට හාට් ඇටෑක් එකක් හැදෙන එක වළක්වන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. අපි ක්‍රියාත්මක වෙන්න ඕන ඒ වෙනුවෙන. තරුණ දරුවන්ගේ ගැටලු‍ හඳුනාගෙන ඒවාට විසඳුම් දෙන්න වගේම පවුල් උපදේශන සේවාවන් සැපයීමෙන්ද රෝහලක් විදිහට අපි මිනිස්සුන්ට උදව් කරනවා. සෞඛ්‍ය සම්පන්න පුරුදු හුරු කිරීමට, වස විස නැති ආහාරවලට යොමුකිරීමට වැඩසටහන් කරනවා. ගම්වැසියන්ගේ ජීවන චර්යාවන් ධනාත්මක පැත්තට වෙනස් කිරීමේ රෝහලක් විදිහටයි කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ වැඩ සැලසුම් වෙන්නේ. මේ දේවල් අනිත් රෝහල්වලත් තියෙනවා. අපේ රෝහලේ විශේෂත්වය තමයි අපිට ඉන්න ස්ටාෆ් එකේ ප්‍රමාණය අපිට ඉන්නේ වෛද්‍යවරු තුන්දෙනයි හෙදියන් දෙන්නයි. අනිත් අය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ කාර්යාල සේවයට දෙන්නෙක්’ ඔක්කොම 22 යි. අපි පොඩි කණ්ඩායමක් විදිහට විසඳුම් සොයා ගනිමින් සාර්ථකව වැඩ කරගෙන ආවා. අද වෙද්දී මෙතැනට එන හැම කෙනෙක්ගෙම හිත් ගන්න විදිහෙ අමුතු දෙයක් අපි කරලා තියෙනවා.

 


ඒ විදිහට තමයි 2022 වසරේ බස්නාහිර පළාත් හොඳම ප්‍රාදේශීය රෝහල බවටත් සම්මානයට පාත්‍ර වෙන්නේ. මේ සම්පූර්ණ කතාව ඇතුළේ මට මතු කරන්න ඕන වුණ කාරණාවක් තියෙනවා. ඒ තමයි රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරීන් විදිහට අපිට මොන තරම් වැඩ කොටසක් කරන්න පුළුවන්ද කියන එක. කනත්තක් අද රෝහලක්. ඒක කලාගාරයක් වගේ සුන්දර තැනක් කරන්නත් අපි මේ දවස්වල වැඩ කරගෙන යනවා. ඉදිරියේදී වැඩිහිටි සෞඛ්‍ය වෙනුවෙන් කැප වූ වයෝවෘද්ධ මිතුරු රෝහලක්. බවට පත් කරන්නත් අදහස් කර ගෙන ඉන්නවා. වළක් විලක් කරන්න ගත්ත වෙහෙස ගැන ආපස්සට හිතලා බලද්දී ලොකු සතුටක් ආත්ම තෘප්තියක් තියෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවය ගැන ලෝකයටම කතා කරන රෝහල, ලංකාවේ කටුගහහේන රෝහල බවට පත්කිරීම තමයි අපේ ඊළඟ ඉලක්කය. 

 


සැබෑ වුවමනාව, කැපවීම ඇත්නම් ඉලක්කයක් වෙත යෑම අසීරු නැති බව ඔවුන් දැනටමත් ඔප්පු කර හමාරය. රාජකාරිය දේව කාරියටත් එහා කරගත් මෙවැනි රාජ්‍ය සේවකයන් මේ රටට තව තවත් අවශ්‍ය බව අපට දැනෙන අවස්ථා බොහෝය.

views

400 Views

Comments

arrow-up