රෝගියා ගේ බෙල්ලේ රතු ලපයෙන්, දොස්තර මහතා හෙළි කර ගත් රහස

"ඊලඟ ලෙඩා එන්න"
මැදිවියේ අව්වට පිච්චුනු බර වැඩ කරන පුද්ගලක් කියලා හිතන්න පුලුවන් කෙට්ටු පුද්ගලයෙක් එක්ක එයාගෙ නෝනයි තරුණ වයසේ දුවයි දොර ඇරගෙන ඇතුල් උනා.
"කවුද ලෙඩා?"
"මෙයා තමයි ඩොක්ටර්" රෝගියාව මගේ ඉස්සරහ පුටුවේ ඉන්දන ගමං නෝනා කිව්වා.
ඔව් දැං මොකක්ද ප්‍රශ්නේ?
"මේකයි ඩොක්ටර් අදත් මේ මගේ කටේ බලේට තමා ආවෙ. මෙතන්ටත් ඇවිත් බෑ කීවා. බලෙන්ම එක්කං ආවා" ලෙඩාගෙ නෝනා කියාගෙන යනවා.
"මං ඩොක්ටර් සාමාන්‍යයෙන් බෙහෙත් ගන්නෙ අහවල් ඩොක්ටර් ගෙන් විතරයි. ඒ ඩොක්ටර් මේ දවස් ටිකේ නැති නිසා තමා මං මේ වෙන එක්කෙනෙක්ගෙන් මේ ටික ගත්තේ" ලෙඩාගෙ අතේ තිබ්බ බෙහෙත් ටිකක් මගේ මේසෙ උඩිං තිබ්බා.
ආ එහෙමද..මං බලන්නම් මොනවද මේ බෙහෙත් කියලා.. මං බෙහෙත් ටික බලන අතරතුරේ
"මට දැං සෑහෙන්න කාලෙක ඉඳලා ඩොක්ටර් කෑම කන්න අමාරුයි.උගුර රිදෙනවා.. දැවිල්ලයි.. කෙලත් ගිලින්න ටිකක් අමාරුයි වගේ.. බඩත් රිදෙනවා.."
බඩේ දැවිල්ල වගේ තිබ්බද?
"ඔව් ඩොක්ටර්"
අහ් ඒවට තමා මේ බෙහෙත්නම් දීලා තියෙන්නෙ..
මේ අතරේ ලෙඩාගෙ බෙල්ලෙ අසාමාන්‍ය රතු වීමක් එක්ක පොඩි ඉදිමුමක් මං දැකලා ඇහුවා,
"මේක මේ ඔයාගෙ කාලෙක ඉදං තියෙන රතුවීමක්ද?"
"ඔව් ඩොක්ටර්.දැං මාස 6-7 වගේ ඉඳං"
කාටවත් පෙන්නුවේ නැද්ද මේක?
"නෑ ඩොක්ටර් මං එච්චර ගනං ගත්තේ නෑ"
හරි මං පොඩ්ඩක් ඔයගේ බෙල්ල පරීක්ශා කරලා බලන්නම්.
බෙල්ල පරීක්ශා කිරීමෙන් පස්සෙ,
"ම්.. ඔයාගෙ මෙතන (බෙල්ලේ දකුණු පැත්තේ යටට වෙන්න) පොඩි ගෙඩියක් තියෙනවා.. අපි මේක ස්කෑන් පරීක්ෂණයක් කරලා බලමු. බය වෙන්න දෙයක් නෑ.දැනට මම වේදනාව අඩුවෙන්න බෙහෙත් වගයක් දෙන්නම්.මට මේ ස්කෑන් එක කරලා අනිවාරෙන් ගෙනල්ලා පෙන්නන්න..හොදද?"
"හරි ඩොක්ටර්"
ස්කෑන් එකට අවශ්‍ය ලියුමක් Consultant radiologist කෙනෙක්ව හම්බෙන්න කියලා දුන්නා. ලෙඩාගෙ නෝනයි දුවයි පොඩ්ඩක් තිගැස්සුනා ස්කෑන් එකක් කරන්න ඕන කිව්වාම.ලෙඩාට එලියට යන්න ඇරලා නෝන ඇවිල්ලා අයෙත් මට කතා කරා.
"ඩොක්ටර් ලොකු ප්‍රශ්නයක්ද? මේ දුවගෙ වෙඩිං එකත් මැයි වල තියෙන්නෙ. බලන්න ඩොක්ටර් මෙයා කිසිම දෙයක් ගනං ගන්නෙ නෑනෙ.බෙහෙත් ගන්න යං කීවම එන්නෙත් නෑ.හැමදාම බොනවා..බොන හින්දාවත්ද ඩොක්ටර් මේ ගෙඩියක් ඇවිල්ල තියෙන්නෙ? "
ම්..එහෙම බයවෙන්න දෙයක් නෑ.ඔයාල වෙඩිං එකේ වැඩ එහෙම්ම කරගෙන යන්න.ඒ අතරෙ හැබැයි ඉක්මන්ටම මං කීව වගේ consultant ව හම්බෙලා scan එක කරගෙන ඇවිල්ලා මාව දැනුවත් කරන්නකො.දුවගෙයි අම්මගෙයි හිතේ තිබ්බ බය ඇරෙන්න හිත හදලා යැව්වා.
දවස් කීපයකට පස්සෙ නිශාන්ත අයියා "මල්ලි ඔයාගෙ patient කෙනෙක් ආවා මට. එයාගෙ රිපෝට්ස් බලලා මං එයාව FNAC (ගෙඩියේ පටල පරීක්ශාවකට) එක්කට refferal එකක් දැම්මා surgeon කෙනෙක් ට කතා කරලා.සර් බලයි දැං patient ව. possible malignancy (බොහෝ විට පිළිකාවක්) මල්ලි"
ඔව් නේද අයියේ.මාත් suspect කරා.බල්මුකො නේද මොකද වෙන්නෙ කියලා.කොහොමත් patient එයිනෙ ආයෙ..
සතියකට විතර පස්සෙත් මං patient ගැන හොයලා බැලුවත් ආරංචියක් ආවෙ නැ. නිශාන්ත අයියා කීවෙත් patient මහරගම යවන්න ඇති කියලා. කොහොමහරි මාස කීපයකට පස්සේ දවසක් සහන්,
"අයියේ ඔයාව හොයාගෙන දැන් දවස් 3ක් විතර ගෑනු කෙනක් ආව. ඔයා නෑ කීවම ගියා විස්තරයක් මොකුත් කීවෙත් නෑ..කොහොමහරි අදත් ආවා.මං අද නවත්තගෙන විස්තරේ අහුවා."
කවුද ඒ? මොකක්ද කිව්වෙ?
"ඔයා cancer patient කෙනෙක් ට refferal එකක් දුන්නද දැං මාස දෙකකට වගේ උඩදි?"
ම්..අහ් ඔව් ඔව්. මොකක්ද එයාට වෙලා තියෙන්නෙ?
"එයාගෙ wife ආවෙ. එයාට cancer එකක්. Cancer එක තියෙන තැන නිසා අයින් කරන්න බෑ කිව්වලු.ඔයාගෙ refferal එක නිසා තමා diagnose කරගෙන තියෙන්නෙ.හැබැයි දැං මොකුත් කරන්න බැ කීවලු. Radiotherapy තාමා කරනවා කීවෙ.ඔයාට thank කරන්නලු හෙව්වෙ.ඔයාව එදා හම්බුනේ නැත්තං මෙහෙමවත් මේක අහුවෙන්නෙ නෑනෙ කීව. ආයෙ වෙලාවක එන්නම් කීවා කතා කරලා යන්න"
"එහෙමද මචං.."
ලෙඩේ හෙව්ව එකේ සතුටට වඩා දුකක් ආවෙ ඇයි මේ මිනිස්සු ලෙඩක් හැදුනාම තමන් ගැන මෙච්චර සැලකිලිමත් වෙන්නෙ නැත්තේ කියලා.
~ S.S. (සත්‍ය සිදුවීමකි)
1009 Views
Comments