සීයා පැදවූ ලොරිය පුංචි සිඟිත්තියව බිලිගත් හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

සීයා පැදවූ ලොරිය පුංචි සිඟිත්තියව බිලිගත් හැටි

සීයා පැදවූ ලොරිය පුංචි සිඟිත්තියව බිලිගත් හැටි

මිණිපේ, හසලක, කීනපැලැස්ස ප්‍රදේශයේ අවුරුද්දයි මාස අටක් වයසැති සිගිති දැරියක පෙරේදා (28) ඇයගේ පොඩි සීයා පැදවූ ලොරි රථයකට යට වී මියගොස් ඇතැයි හසලක පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ, සෙනුෂි සිහංසා නමැති සිඟිත්තියකි.

 

මියගිය සිඟිත්තියගේ මාතර පිහිටි මවගේ නිවෙසට යෑම සඳහා නිවෙසට ජලය රැගෙන යෑමට නිවෙසේ තිබූ ලොරි රථය පණගන්වාගෙන කඩපිලට යෑමට පිටත් වූ දරුවාගේ සීයා පැදවූ ලොරි රථයට නිවෙස ඉදිරිපසදීම යට වී සෙනුෂි සිහංසා ජීවිතයෙන් සමුගෙන ඇති බව පොලිසිය පවසයි.

 

මියගිය දියණියගේ මාපියන් ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතුව සිටින අතර, මියගිය දියණිය ඇතුළු මව මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මාතර පිහිටි මවගේ නිවෙසට පැමිණ ඇත. ඉන් පසු සති කිහිපයකට පෙර හසලක කීනපැලැස්සේ පිහිටි පියාගේ නිවෙසට ඔවුන් පැමිණ ඇති බව හෙළි වී තිබේ.

 

හසලක රැඳී සිටි ඔවුන් ඊයේ (29) යළි මාතර බලා යෑමට සූදානම්ව සිට ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කළමනා හා නිවෙසට අවශ්‍ය ජලය රැගෙන යෑමට ඊට පෙර දින (28) සවස දැරියගේ පොඩි සීයා නිවෙසේ තිබූ ලොරි රථය රැගෙන කඩපිලට යෑමට සූදානම්ව ඇත. ඒ වන විටත් සෙනුෂි දියණියට මව කෑම කවමින් සිට ඇත.




දියණියට කෑම කවා අවසන් වූ පසු, මව අත සෝදා ගැනීම සඳහා මුළුතැන්ගෙට ගොස් ඇති මොහොතේ, රොටී කැබැල්ලක් ද අතට ගෙන සිගිත්තිය නිවෙසින් බැහැරට පැමිණ ඇති අතර, ඒ පිළිබඳ සෝදිසියක නොසිටි ඇයගේ පොඩි සීයා කඩපිලට යෑමට නිවෙස ඉදිරිපිට නවතා තිබූ ලොරි රථය ඉදිරියට ගැනීමේදී ලොරි රථයේ පිටුපස රෝදයට දියණිය යට වී තිබේ.

 

ලොරි රථයට යට වූ දියණිය නිවැසියන් කඩිනමින් රෝහල්ගත කළ ද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. කුඩා දියණිය නිවෙස ඉදිරිපිට ලොරිය දෙසට පැමිණෙනු නිවැසියන් කිසිවකු දැක නොමැති බව පැවැසේ.

 

සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරනු ලැබ ඇති අතර, ලොරි රථය පැදවූ පොඩි සීයා අත්අඩංගුවට ගෙන ඇත.

views

273 Views

Comments

arrow-up