"මං අසනීප වුණා.. බෙහෙත හදන එක නතර කළා.." - ධම්මික පැණියට වෙච්ච දේ

කොරෝනා වසංගතය මුළු ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී අවසන්ය. නමුත් තවමත් මෙයට හරි හමන් බෙහෙතක් නැත. මෙරට කොරෝනා වසංගතය පැතිරෙන් සමයේ ධම්මික බණ්ඩාර නම් වෙද මහතෙකු පැමිණියේ කොරෝනා සුව කරන පැණියක්ද සමඟිනි.
ධම්මික වෙද මහතාගේ පැණිය ධම්මික පැණිය විය. ඔහුට අනුව, පැණියේ වට්ටෝරුව ලැබුණේ සිහිනයෙන්ය. ඒ කාලි මෑණියන්ගෙන් ය. පැණිය සොයා වෙද මහතාගේ නිවසටත්, දේවාලයටත් ජනතාව පැමිණියේ දහස් ගණනින් ය. එකල පැණි බෙදන දන්සැල් ද විය.
මේ පුවත සමාජ මාධ්‍ය පුරා පැය කිහිපයකින් පැතිර ගියේය. පැණිය ගැන පුවත් මැවෙද්දී බටහිර එන්නතක් මෙරටට ආවේය. එය නමින් ඇස්ට්‍රසෙනෙකා ය. වෙද මහතා ද ඇස්ට්‍රසෙනෙකා එන්නත විදගත් බව සමාජ මාධ්‍ය පුරා ඡායාරූප පැතිර ගියේ පැණියේ පුවතටත් වඩා වේගයෙනි.
සති ගණනක් පුවත් මැවූ ධම්මික වෙද මහතා අද සිටිය වගක්වත් ජනතාවට මතක නැත. ඔහු ද නිහඬය. එකල හමු වීමටවත් නොහැකි වූ ධම්මික වෙද මහතා අද රිසි සේ හමු විය හැකිය. කොරෝනා පැණිය සෑදූ භාජන ඔහුගේ නිවසේ තැන තැන අසුරා ඇත. පසෙක කර්මාන්ත අමාත්‍යංශයෙන් ලබා දුන් බව කියන කැබලි කරන යන්ත්රයයි. තවත් පසෙක හිස් කාලේ වීදුරු බෝතල් දහස් ගණනකි. අනෙක් පස හිස් ගෑස් සිලින්ඩර්ය. බොඩි ගාඩ්ලාද නැත. සේවකයෝද නැත. ඔහු පමණි.
"දැන් මම බෙහෙත් හදන්නේ නැහැ. බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා. චීනෙන් මී පැණි ටිකක් ගෙන්වා ගත්තා. මී පැණි නම් ආවා.. බෙහෙත් හදන්නේ නැහැ කියලා තීරණයක් ගත්තත් මම හිතුවේ ලංකාවේ කොවිඩ් නැති කරන්නයි. ලංකාවට විදේශ විනිමය අරගෙන දෙන්නයි. ඒත් මේ රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහෙලිකම් කරා. ගිය අවුරුද්දේ මුල බෙහෙත හැදුවා. නොවැම්බර් මාසේ වතුපිටිවල රෝහලේ සායනික පරීක්ෂණ සිදුකරලා යි බෙහෙත එළි දැක්වූයේ. කොවිඩ් හැදුනු අයට දවස් 3 න් සනීප වුණා. ලෙඩ්ඩු බලා ගත්ත අයට මෙය බෙහෙත නිසා කොවිඩ් වැළඳුණේ නැහැ."
"ලංකාවේ නාවික හමුදාවේ මුල් වටයේ කොවිඩ් තුරන් කළේ මමයි. බය නැතුව මට එහෙම කියන්න පුළුවන් ඡායාරූප සමඟ මගේ ළඟ සාක්ෂි තිබෙන නිසයි. වරායට ගුවන්තොටුපල අරිනකොට යන්න තිබුණෙ නැහැ. ඒ අයට බෙහෙත් දුන්නේ මමයි. මේ බෙහෙත ධම්මික පැණිය උනෙත් මාධ්‍ය තුලින්මයි. මේ බෙහෙත දීපු කාටවත් මම උපදෙස් දුන් විදිහට මස් මාලු නොකා නොබී සිටියා නම් කොවිඩ් හැදිලා නැහැ. මම හදපු බෙහෙත ලක්ෂ විසිපහකට අධික පිරිසක් බිව්වා. ඒ අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් පොකුරු ඇතුලේ හිටියට කොවිඩ් හැඳුණේ නැහැ."
"සමහර වෛද්‍යවරුන් මේ බෙහෙතට බොහෝ නින්දා කලා. කෑගල්ලෙන් ධම්මික පොකුරක් හැදෙයි කිව්වා. ඔත්නාපිටිය බෙහෙත් හදන තැන පැණි පොකුරක් හැදෙයි කීව්වා. එක දවසට දස දහසක් විතර සෙනඟ පොදි ගැසිමින් බෙහෙත ගන්න ආවත් ඒ අයට කොරෝනා හැදුණේ නැහැ."
ධම්මික වෙද මහතා, පාරම්පරික හෝ ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරයෙකු නොවීය. එවැන්නකු ගෝලීය වසංගතයක් වන මෙවන් රෝගයකට බෙහෙත් දෙන්නේ කොහොමද යන ගැටළුව බොහෝ දෙනෙකුට විය. ධම්මික බණ්ඩාර යනු ඔහු ගේ සැබෑ නම නොවන බව ද ඇතැම්හු කියා තිබුණි. මේ එයට ඔහු ලබා දුන් පිළිතුරයි.
"ඒක ඇත්ත මගේ නම ධනපාල. මම ඒ වෙනුවට ධම්මික බණ්ඩාර ලෙස නම් අසා නම වෙනස් කළේ මීට අවුරුදු 8 කට 9 කට විතර කලින්. ඒක කළේ හාමුදුරුවන් ගේ ඉල්ලීමක ට උන්වහන්සේලාට දෙනියාය ගැටබරු දේවාලයේ බස්නායක නිලමේ හැටියට මාව පත් කරගෙන යන්න මගේ නම ප්‍රශ්නයක් වුණා. මගේ උපන් වෙලාව අනුව නැකැත් බලලා තමයි උන්වහන්සේලා මේ නම තිබ්බේ."
"එහෙම නැතුව කොවිඩ් බෙහෙත නිසා නොවෙයි. නායක හාමුදුරුවන්ට ඕනෙ වුණා මාව ඉදිරියට ගෙනියන්න. මගේ තාත්තා මාතර.. අම්මා තමයි කෑගල්ලේ."
"මේක දෙවියන්ගේ ඖෂධයක් මගේ අතින්ම තමයි මම මේක දෙන්නෙ. මට වෙද මහත්තයා කීවේ මාධ්‍ය තුළින්. කාලි මෑණියන් මගේ ඇඟට ආවේශ වෙලා තියෙන නිසා මට කියන්නේ මෑණියෝ කියලයි. තුම්මෝදර භද්‍රකාලි දේවාලයේ මෑණියෝ කීවාම ඕනෑම කෙනෙක් දන්නවා. මගේ දේවාලයෙන් අවුරුදු ගණනක් විවිධ රෝග වලට ප්‍රතිකාර කරනවා. බටහිර වෛද්‍යවරුන් "සුව කරන්න බැහැ" කියූ රෝගීන්, කාලි අම්මාගේ ආශිර්වාදයෙන් මම සුවකරලා තියෙනවා. ඒ වුණත් මම වෙද මහත්තයෙක් නොවෙයි." "ආයුර්වේදය ගැන පරීක්ෂණයක් කලොත් ඒක ලංකාවට ආපු හැටි හොයා ගන්න පුළුවන්. ඒක ලංකාවේ දෙයක් නෙවෙයි. ඒක ඉන්දියාවෙන් තමයි ලංකාවට ආවේ. සෘෂිවරුන්ගෙන් තමයි ඉන්දියාවට ආවේ. කොරෝනා වලට හරි හමන් බෙහෙතක් නැතුව බයෙන් ඉන්න වෙලාවක තමයි මම මේක හදල දුන්නෙ. මගේ ඡන්මය හොයන්නේ නැතුව මේ බෙහෙත ගැන හෙව්වා නම් හරි".
"ඊයෙ පෙරේදා පස්සර ලොකු රිය අනතුරක් සිදු වුණා. එතන තුවාල වූ අයගේ යනකොට රෙදි පටියක් ගැට ගැසූ කෙනා වෛද්‍යවරයෙක් නෙවෙයි. හැබැයි ඒ කෙනාගේ ජීවිතය බේරගන්න එක වැදගත් වුණා. මගේ බෙහෙතට ආයුර්වේද වෛද්‍යවරු එක එක දේ කීවා. මගෙන් බෙහෙත් වට්ටෝරුව ඉල්ලුවා. මම වට්ටෝරුව දුන්නාම බෙහෙත් හැදුවත් වැඩක් වුණේ නැහැ. අපි මේක හැදුවේ මෑණියන්ගෙන් ලැබුණු ආශීර්වාදයෙන්."
ධම්මික පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා ලබාදීමට ඔහුට හැකි විය. ඒත් පැණිය බිව් සෞඛ්‍ය ඇමතිවරියට නම් කොවිඩ් වැළදුණි.
"මම හදපු දේ ලක්ෂ 25 කට අධික පිරිසක් බිව්වා. ඒ අයගෙන් වැඩි දෙනෙක් කොවිඩ් පොකුරු ඇතුලේ සිටියා. ඒ අයට කොවිඩ් හැදුනෙ නැහැ කියල මම කලිනුත් කිව්වා. පාර්ලිමේන්තුවේදී මම කතානායකතුමාට මේ බෙහෙත දුන්නා. සෞඛ්‍ය ඇමතිතුමිය මේ බෙහෙත් බිව්වා ඒත් එතුමියට කොවිඩ් හැදුනා. මම දුන් උපදෙස් පරිදි දින තුනක් බෙහෙත ලබා ගත්තා නම් එතුමියට කොවිඩ් හැදෙන්නේ නැහැ. එතුමියගේ පවුලෙ අයත් ඒ ගැන කියල තිබුණා. පියල් නිශාන්ත ඇමතුමා බෙහෙත බිව්වෙ නැහැ කියලා තිබුණා."
"ඒ වගේම විමල් වීරවංශ ඇමැතිතුමා මේ බෙහෙත හරියට බිව්ව නිසා කොවිඩ් නැහැ කියලා රූපවාහිනි වැඩසටහනකදී කිව්වා. මාධ්‍ය එකක් දෙකක් හැර බොහොමයක් මේ තත්ත්වය විකෘති කරලයි වාර්තා කළේ. කොරෝනා නිවාරණ ප්‍රතිශක්තිකරණ ජීව ශක්ති පානය ලෙස මං හදපු බෙහෙත ධම්මික පැණි බවට පත්කළේ ජනමාධ්‍යයයි. මම ආයුර්වේද සභාවෙන් දුන් සහතික ප්‍රතික්ෂේප කළේ කොරෝනා නිවාරණ කියලා සහතික නොතිබූ නිසයි."
ඔහු මේ බෙහෙත අලෙවි කළ බවටත් එකල චෝදනා එල්ල විය. මේ ඔහු එයට දැක් වූ ප්රතිචාරයයි.
"මම ලංකාවේ උසම සමාධි බුදුපිළිමය බුදු පිළිමය හදන්න සැලසුම් කරලා තිබුණේ. ඒ සඳහා මා ළඟ තිබූ මුදල් මේ බෙහෙත හදන්න මම වියදම් කළා. මගේ ළඟ තිබුණු වාහන 6 ක් විකුණුවා. බැතිමතුන් දුන් මුදල, මගෙත් එක්ක වැඩ කරන අයගේ රත්තරන් බඩු පවා උගස් කරලා සොයා ගත් මුදල් වලින් තමයි අපි මේ බෙහෙත හැදුවේ. කාගෙන්වත් සල්ලි ලැබුණේ නැහැ. ඒත් මේ බෙහෙතට අගෞරව කළා මිස කවුරුවත් උදව් කළේ නැහැ."
බෙහෙත් හදන්න අවශ්‍ය දේවල් ගන්න මගේ සියලු දේවල් ඉවර කරලා මේකේ විකුණන්න තීරණය කළා. ඒක අර කෙනෙක් කියල තිබුණා වගේ මගේ මෝඩකම වෙන්න ඇති. මම හිතුවේ මේ රට වෙනුවෙන් භද්‍ර කාලිකාලි මෑණියන් මට සියලු සැප සම්පත් දීලා තිබෙනවා බෙහෙත් වලට විදුලියට ගෑස් වලට ශ්රමයට යන ආදි වශයෙන් බලලයි බෙහෙත් බෝතලයක් රුපියල් දස දහසකටවත් බෝතල් කාලක් රුපියල් 2500 කට වත් මිල නියම කෙළේ. ලැබුණු මුදල් චීනයෙන් මී පැණි ගේන්න යෙදෙව්වා. බෙහෙත් බෙදා දෙන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිදු වුණා. මෙතැනදි කාලේ බෝතල් 7000 කට වඩා බෙදා දුන්නා. පූර්ව සෞඛ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති වලට පටහැනිවයි. බෙහෙත් බෙදා දුන්නේ. හැබැයි ඒ කාටවත් හැදුනේ නැහැ.
ඔහු එන්නත ලබා ගත් බවට පල වූ චායාරූපය ගැන දැක්වූ අදහසයි මේ.
"මම නම් මේක ඒක දැක්කෙ නැහැ. හෙදියක් මට මේ එන්නත ලබා දෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල තිබෙනව කියලා මටත් දැනගන්න ලැබුණා. ඒ දේශපාලනඥයෙකුට වෙන්නැති. දෙන පින්තුරයකට මගේ ඔළුව බද්ධ කරලා නිර්මාණය කරපු ඡායාරූපයක්. මට අවශ්‍ය නම් ඒකට විරුද්ධව නීති මගින් කටයුතු කරන්නත් පුළුවන්. ඒත් මම දකින එකම දේ මම තව කෙනෙකුට කරන්නේ නැහැ. සමහර මාධ්‍යවලින් මට මඩ ප්‍රහාර එල්ල කලත් මම කිසිවක් ප්‍රකාශ කළේ නැහැ."
ඔහු දේශපාලනයට අකමැති බවත් නමුත් ඕනෑ තරම් දේශපාලඥයින්ට උදව් කර ඇති බවත් ඔහු පවසනවා. එසේම තමාට දේශපාලනයට අාරාධනා කර ඇති බවයත් ඔහු පැවසුවා.
"ආශිර්වාද ගන්න පැමිණෙන බොහෝ දේශපාලනඥයන්ට මම උදව් කළා. සමහර දේශපාලනඥයෝ මගේ බෙහෙත වද කහ සුදිය වගේ කීව්වා. තව සමහරු එන්ජින් ඔයිල් කීවා. හැබැයි ඒ කිව්ව අයත් බෙහෙත බිව්වා. ඉහළම අය ඉල්ලන වෙලාවට බෙහෙත දෙන්න බැරි වුණාම දොස් කීව්වා මිස උදව් කළේ නැහැ."
"ජනාධිපතිතුමා වන ජිවී දෙපාර්තමේන්තුව හරහා මට මී පැණි නොමිලේ ලබා දුන්නා කියලා කතාවක් ප්‍රචාර වී තිබෙනවා. ජනාධිපතිතුමා මට මී පැණි ලබා දුන්නේ නැහැ. එතුමා මේ බෙහෙත පිළිගත්තේ නැහැ. වන ජීවී එකෙන් කිසිවකින් කිසිවක් ලැබුණෙත් නැහැ. සමහර හාමුදුරුවරු මට මී පැණි හා සාදික්කා සොයා දුන්නා."
රුපියල් 750 ට ගත් මී පැණි පසුව රුපියල් 7500 කට මිලට ගැනීමට සිදු වූ බවත් සත 50 ට ගත් සාදික්කා රුපියල් 12 දක්වා ගැනීමට සිදු වූ බවත් ඔහු පවසනවා. කර්මාන්ත අමාත්‍යංශයෙන් සාදික්කා සුද්ද කරන යන්ත්‍රයක් ලැබුණු බවත් ඇතැමුන් කියන පරිදි එය ලක්ෂ 25 ක් නොවන බවත් ඔහු පවසනවා. එහි මිල ලක්ෂ 7.5 ක් බවයි ඔහු පැවසුවේ.
ඔහු පුතාගේ නමට ශීතකරණ සහිත ලොරියක් ලක්ෂ 25ක ණයක් ගෙන මිලදී ගෙන තිබුණි. එම ණය තවම ගෙවමින් පවතින බව ඔහු පැවසුවා. ඔහු ගමන් බිමන් යන එන ජීප් රථය ඔහුගෙන් ප්‍රතිකාර ගත් විදේශයක පදිංචි විශේෂඥ වෛද්‍ය වරයෙකුගෙන් ලැබුණු එකකි. සේවකයන් 8 දෙනෙකු ඔහුගේ සහයට සිටි බවත් වෙනත් ආරක්ෂකයින් නොසිටි බවත් ඔහු පවසනවා.
"මගේ අම්මා මගේ ආරක්ෂාවට සිටිනවා."
"මගේ ළඟ සිටින ළමයි මම බලාගන්නවා. අවුරුද්දක කාලයක් බෙහෙත නොමිලේ ලබා දුන්නා. එන්නත එනවත් එක්කම මී පැණි නැතුව බෙහෙත හදන එක නතර වුණා. මට හැම දෙයක්ම නැති වුණා. ළඟ හිටපු අයත් නැති වුණා. එකෙන් කම්පා වුණා. මම හදිසියේම අසනීප වුණා."
"මේක දෙවියන්ගේ ඖෂධයක්. එහෙම විකුණගෙන කන්න දෙන්න බැහැ. මතු බුදුවන භද්‍රකාලී මෑණියන්ට පින් පිණිස මම පුළුවන් තරම් කාලයක් දේවාලයේ දී බෙහෙත් කරනවා."
"ඉල්ලන කෙනෙක්ට දෙන්න දැනටමත් මගෙ ළඟ කොවිඩ් වලට හරියන බෙහෙත තියෙනවා."
අවසන් වශයෙන් ඔහු ප්‍රකාශ කළේ තමාගේ එකම සිහිනය ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදි කිරීම බවයි.
(සිළුමිණ)
1223 Views
Comments