“අන්තිම පාර නළාව නාද කළාම පස්ස බැලුවත් ගොඩක් පරක්කුයි” - හැන්ඩ්ස් ෆ්‍රී එකකින් ජීවිතයේ ඉරණම විසඳාගත් සිසුවෙක් ගැන ඇහෙන කතාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සූදානම් වූ පාසල් සිසුවෙක්, විභාග ප්‍රවේශ පත්‍රය අත්සන් කිරීමට ඉරිදා (3) ගාල්ල මහින්ද විද්‍යාලයට යාමට නියමිතව තිබියදී, පසුගිය 2 වැනිදා පස්වරුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී දුම්රියක ගැටී අවාසනාවන්ත ලෙස මිය ගියේය.
ඔහු මරණයට පත්වන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කරද්දී දුම්රිය එන හඩ නෑසෙන සේ කනේ ගසාගත් හැන්ස්ෆ්රී ඉයර්ෆෝන් උපකරණයක් නිසාය. සිය පියා විදෙස් රටක සිට පැමිණෙන විට ගෙනවිත් දුන් මෙම උපකරණය ඔහු ඒ දිනවල ආසාවෙන් පරිහරණය කළ එකක් බව කියැවිණි.
පසුගිය 2 වැනිදා පස්වරු 1.05 ට පමණ අම්බලන්ගොඩ කරිත්ත කන්ද ගේට්ටුව සහ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අතරදී මෙම අනතුර සිදුවී ඇති අතර, සිසුවා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මේ අනතුරින් මිය ගියේ අංක තණබද්දෙගම, ඇල්පිටිය පදිංචි ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කුකුලගේ තූසද සංදීප් නමැති සිසුවාය.
මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේදී පවත්වන අවස්ථාවේ සාක්ෂි දුන් දුම්රිය රියැදුරු මෙසේ ප්‍රකාශ කළේය:
"2025 මාර්තු මස 2 වැනිදා අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය ධාවනය කළේ මමයි. අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොළට ආසන්නයේ දුම්රිය මගෙහි ළමයෙක් ගමන් ගන්නවා දුටුවා. ඔහු ගමන් ගත්තේ දුම්රියට පිටුපාලයි. මම ළමයා දැකපු ගමන්ම දුම්රියේ නළාව නාද කළා. කිහිප අවස්ථාවක්ම නළාව නාද කළා. ඒත් එයා අයින් වුණේ නැහැ.
අවසන් වර දුම්රියේ නළාව නාද කළාම එයා පස්ස බැලුවා. එතකොට ගොඩක්ම පරක්කුයි. ළමයට පනින්න වෙලාවක් තිබුණේ නැහැ. ළමයා දුම්රියේ ගැටුණා. මම ඒ අවස්ථාවේ දුම්රිය ධාවනය කළේ පැයට කිලෝමීටර් 50 ක පමණ වේගයකිනුයි."
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මියගිය සිසුවාගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා, සිය පුත්‍රයාගේ සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රවේශ පත්‍රය අත්සන් කිරීම සඳහා විශේෂයෙන් පිට රටින් පැමිණ සිටි බවයි. ඔහු පිටරට සිට ලංකාවට පැමිණියේ සිය පවුලේ සාමාජිකයන්ට නොදන්වා, ඔවුන්ව පුදුමයට පත් කිරීමේ අරමුණින් බව පියා සිය සාක්ෂියේදී සඳහන් කළේය.
මියගිය සිසුවාගේ පියා මෙසේ පැවසීය: "මම පිටරට ගිහින් ගෙදරට ආවේ 02 වැනිදා උදේ 10.00ට විතර. මම එනකල් දරුවෝ දැනගෙන හිටියේ නැහැ. මම එයාලව පුදුම කරන්නයි එහෙම නොකියාම ආවේ. ඒ එනකොට මම ගෙනාව හෑන්ඩ් ෆ්‍රී දෙකක්. මේක මගේ බෑග් එකේ තමයි තිබුණේ. පුතා ඒක බෑග් එකෙන් අරගෙන තමයි ගිහින් තියෙන්නේ. ඒක කනේ ගහගෙන එනකොටයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. මමයි මේක අරන් ආවේ ඒ ගැන මම කනගාටු වෙනවා.අපේ ගම තණබද්දෙගම. අපි ඇල්පිටිය අම්බලන්ගොඩ කුලී නිවසකට ආවේ දරුවන්ට ඉගෙන ගැනීමට පහසු නිසයි. මම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක්. මම විදෙස් රටක සේවයට ගියේ අම්බලන්ගොඩ කුලී නිවසේ සිටයි. 2024 සැප්තැම්බර් මස 17 තමයි රට ගියේ."
"මම 2025 මාර්තු මස 02 වැනිදා ලංකාවට ආවා. ඒ ආවේ ගෙදර අයට දන්වන්නේ නැතිව පුදුම කරන්නත් ඒක්ක. එහේම එන්න හේතුවක් තිබුණා. එකක් පුතාගේ ඕලෙවල් විභාගයට ඇඩ්මිනේ අත්සන් කිරීම 3 වැනිදාට යෙදී තිබුණ නිසා ඔහුත් එක්ක ගාල්ල මහින්දයට යන්නයි."
"මම රට ඉදලා නිවසට එන කොට පොඩි දෙන්නා ඉරිදා දහම් පාසලට ගිහිල්ලා. පුතයි දුවයි නෝනයි විතරයි ගෙදර හිටියේ. මම රට ඉඳලා ගෙනා ගමන් මල්ල පුතා අස්පස් කර කර ඉඳලා මම පාවිච්චි කරපු හෑන්ඩ් පී දෙක එයා අතට අරගෙන සතුටු වුණා. එයා කණේ ගහගත්තා. මම කිව්වා ඕක කණේ ගහ ගත්තාම පිටත කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ කියලා. සිංදුවක් අහන්න ඕන නම් ගෙදර ඉදගෙන අහන්න කියලා."
"මම ගමන් මහන්සියට නිදාගන්න ගියා. නෝනා උයන්න කුස්සියට ගියා. පුතා මම ගෙන ආ බඩු අතපත ගගා හිටියා. මට නින්ද ගියා. පස්සෙදි ලොකු දුව කිව්වා තාත්තේ මල්ලිට කවුද කට්ටියක් ගහලා අම්බලන්ගොඩ ඉස්ටේෂමේ කියලා. මම ලොකු දුවත් සමග ඉස්ටේෂමට ගියා. එහි දුම්රිය ස්ථානාධිපති මගේ හිත හදලා කාරණාව කිව්වා. මම ස්ටේෂමට ගිහින් පුතාව හඳුනා ගත්තා, මම හිතන්නේ මම රටින් ගෙනා හෑන්ඩ් පී දෙක පුතා කණේ ගහගෙන ජංගම දුරකතනයෙන් සිංදුවක් හෝ දෙයක් බල බලා යන්න ඇති. එයාගේ නොදැනුවත් කම නිසා එය දුම්රියේ හැපෙන්න ඇති කියලා."
මියගිය සිසුවාගේ මව වන මරණ පරීක්ෂණයේදී මෙසේ ප්‍රකාශ කළාය:
"අපිට දරුවො හතර දෙනෙක් ඉන්නවා. අපි අම්බලන්ගොඩ බෝගහවත්ත ප්‍රදෙශයේ තාවකාලික පදිංචි වෙලා ඉන්නවා. ඒ දරුවන්ට අධාපනය ලබාදීමට පහසුවෙන්න. මගේ සැමියා රට ගිහින් ආවේ පෙරේදා (02 වැනිදා) උදේ 10.00ට විතර. තාත්තා ගෙදර එනවා කියලා දරුවන් දන්නෙ නෑ. ගෙදරට ආවාම දරුවන් පුදුම කරවලා තාත්තා දරුවෝ එක්ක ආදරෙන් හිටියා. මම සැමියටයි, දරුවන්ටයි දවල් ආහාර පිළියෙල කරන් හිටියා. එකවරම පුතා කුස්සියට ඇවිත් හෑන්ඩ් ෆ්‍රී එකක් පෙන්නුවා. අම්මේ මේක තාත්තා ගෙනාවේ. මේකේ හොඳට සවුන්ඩ් ඇහෙනවා කියලත් කිව්වා. මටත් ඒක දාලා පෙන්නුවා. දවල් බත් බෙදලා දීලා හැමෝම කෑවා. මම ගුරුවරියක්. අසල නිවසක අමතර පන්තියක් කරන්න ඕනෑ නිසා මම ඒ නිවෙසට ගියා. සවස 03.00ට විතර මම ගෙදරට ආවා. ඒ එනකොට ලොකු දුව අඬනවා. ලොකු දුවගෙන් ඇහුවත් මොකවත් කිව්වේ නැහැ. මම සැරකරලා ඇහුවාම කිව්වා 'අම්මේ මල්ලිට කරදරයක් වෙලා' කියලා."
"පුතා ශිෂ්‍යත්වයෙන් ලකුණු 180ක් අරගෙන තමයි ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් කළේ. එයාමයි මහින්දෙට යන්න ඕනෑ කියලා කිව්වෙත්. ඒ ආශාව නිසා තමයි දැම්මෙත්.
මට මරණය ගැන සැකයක් නැහැ. පුතා කෝච්චි පාරේ අනවබෝධයෙන් ගමන් කරන්න ඇති කියලා හිතනවා."
මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය යූ.ඩී.ඒ. දිසානායක මහතා විසින් සිදු කරන ලදී. ඔහුගේ වාර්තාවට අනුව, මෙය දුම්රියක ගැටී හිසට, මොළයට, උදරය ඇතුළු බහුවිධ තුවාල හේතුවෙන් වූ හදිසි මරණයක් බවට තීන්දු කර ඇත.
දුම්රියේ ගැටීමෙන් සිරුරේ සියලු අවයව වලට බහුවිධ තුවාල සිදු වීමෙන් මියගිය සිසුවා මරණයට පත්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.
අවාසනාවන්ත ලෙස මිය ගිය තූසද සංදීප් සිසුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 180ක් ලබාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ දක්ෂ සිසුවෙකි. ඔහුගේ මව ප්‍රකාශ කළ ආකාරයට, එම පාසලට ඇතුළත් වීම මියගිය තරුණයාගේම තද ආශාවක් වූ අතර, එම දක්ෂතාවය නිසාම ඔහු එම ප්‍රසිද්ධ පාසලට ඇතුළත් කර ගැනීමට දෙමාපියන් කටයුතු කර තිබිණි.
මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම අම්බලන්ගොඩ පොලිසියේ සැරයන් කේ.ජී.එස්. ද සිල්වා (27753) විසින් සිදුකර ඇත.
221 Views
Comments