වැලිකඩ පොලිස් භාරයේදී ගෘහ සේවිකාව මියගිය සැබෑ හේතුව එළියට

බොරැල්ල කොටා පාරේ පිහිටි ධනවත් ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ සේවය කරමින් සිටියදී සිදුවූයේ යැයි කියන රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී ගෘහ සේවිකාවක මිය යෑමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (25) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එම මරණය සම්බන්ධයෙන් පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි, අධිකරණ වෛද්‍ය වාර්තා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි රංජන් ළමාහේවා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
එම මරණය සිදුවී ඇත්තේ මොට ආයුධවලින් මරණකාරියගේ ශරීරයට එල්ල වූ පහරදීම් මුල් කරගෙන ශරීරයේ අභ්‍යන්තරයට සිදුවූ හානි සහ රුධිර ගලායෑම් බවට අධිකරණ වෛස වාර්තාව අනුව පෙනී යන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන අනුව ඇය පහර කෑමකට ලක්ව ඇති බව පෙනී යන බවත් එම නියෝගය නිකුත් කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
42 හැවිරිදි ආර්. රාජේශ්වරි නමැති මරණකාරිය වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
519 Views
Comments