සිය දරුවාට කවමින් සිටි කෑම උගුරේ සිරවුණැයි කියා 17 හැවිරිදි මෙහෙකාරියට කොස්සෙන් ගැසූ ඉංජිනේරුවාට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

සිය දරුවාට කවමින් සිටි කෑම උගුරේ සිරවුණැයි කියා 17 හැවිරිදි මෙහෙකාරියට කොස්සෙන් ගැසූ ඉංජිනේරුවාට වැඩ වැරදුණු හැටි

සිය දරුවාට කවමින් සිටි කෑම උගුරේ සිරවුණැයි කියා 17 හැවිරිදි මෙහෙකාරියට කොස්සෙන් ගැසූ ඉංජිනේරුවාට වැඩ වැරදුණු හැටි

කෑම කවමින් සිටියදී දරුවාට කෑම සිරවීම නිසා කෝපයට පත්වී 17 හැවිරිදි වියේ පසුවු සිය නිවසේ මෙහෙකාරියට කොස්සකින් පහරදී කෲරත්වයට පත්කිරීමේ චෝදනාවට වරද පිළිගත් 46 හැවිරිදි දෙදරු පියකු වන වෘත්තීය ඉංජිනේරුවරයකුට වසර දෙකක සිරදඬුවම් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර 15 කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (03) නියම කළේය.

 

රට ලෝකය ගැන මහ දැනුමක් ඇති උගත් පුද්ගලයකු ලෙස හා දෙදරු පියකු ලෙස විත්තිකරු මෙයට වඩා සංවේදීව හා සානුකම්පිතව කටයුතු කළ යුතුව තිබූ බවත් පෙන්වා දෙමින් එම දඬුවම නියම කළ විනිසුරුවරයා වින්දිතභාවයට පත් එවකට 17 හැවිරිදි දැරියකවූ එම මෙහෙකාරියට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවනා ලෙසට ද නියෝග කළේය.

 

එයට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විජේනායක කෝරළ කංකානම්ලාගේ රත්නසිරි නමැති විත්තිකරුට නියම කළේය.

 

2010.11.27 වැනිදා බොරලැස්ගමුවේදී එවකට වයස අවුරුදු 18 ට අඩු තැනැත්තියකට පහරදී කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබිණි. සාක්‍ෂිවල මුද්‍රණදෝෂ නිවැරදි කිරීම සහ දේශන පැවැත්වීම සඳහා එම නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත විපුලනායක මහතා අධිකරණය අමතමින් විත්තිකරු ස්වෙච්ඡාවෙන්ම එම චෝදනාවට වරද පිළිගැනීමටත් වින්දිත තැනැත්තියට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවීමටත් අපේක්‍ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

එම විත්තිකරු ගෙවුණ වසර 13 කට ආසන්න කාලයක් තුළදී අධිකරණයකින් දඬුවම් ලැබිය යුතු කිසිදු වරදක් සිදු කර නොකිරීම මෙන්ම ප්‍රථම වතාවට එවැනි චෝදනාවක් එල්ලවී තිබීම කෙරෙහි අවධානය යොමු කරමින් තම අධිකරණය එවැනි ලිහිල් දඬුවමක් නියම කරනා බවද විනිසුරුවරයා එම දඬුවම් නියම කරමින් පෙන්වා දුන්නේය.

 

මුල් අවස්ථාවේදීම අධිකරණයේ කාලය මිඩංගු නොකරමින් වරද පිළිගත්තේ නම් විත්තිකරු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කළ හැකියාව ඇති නමුත් වසර ගණානවකට පසුව නඩුවේ අවසාන භාගයේදී වරද පිළිගැනීම මගින් ඔහු කළ වරදේ බරපතළකම අඩු නොවන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය අධිකරණය හමුවේදී පැවසුවාය.

views

760 Views

Comments

arrow-up