“බිම වැටිලා කෙඳිරි ගෑ එයාව මම උකුලට අරන් කෑ ගැහුවා” - උපාධි අපේක්ෂිකාවගේ මරණ පරීක්ෂණයේදී පෙම්වතා සාක්ෂි දෙයි

“අපි ළඟදී විවාහ වෙන්නයි හිටියෙ, මේ අනතුර සිදු වුණේ අපි කළුතර ගිහින් එද්දී. බිම වැටිලා කෙඳිරි ගාපු නිමේෂාව මම උකුලට අරන් උදව් ඉල්ලා කෑ ගැහුවා.”
යැයි කළුතර, ගල්ලස්ස හංදියේ සිදු වූ රිය අනතුරකින් මිය ගිය උපාධි අපේක්ෂිකාවගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මතුගම, ඇල්ල සිරිකඳුර පාරේ පදිංචි මධූෂ කලංසූරිය (28) පැවැසුවේය.
මේ අනතුරෙන් මිය ගොස් ඇත්තේ කළුතර” කොහොලාන, සේරුපිට පදිංචිව සිටි කන්දමුල්ලගේ උදේනි නිමේෂා කරුණාතිලක නම් 23 හැවිරිදි තරුණියයි.
හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය දීපාල් ඖෂධරත්න මහතා ඉදිරියේ කළුතර, නාගොඩ, ශික්ෂණ රෝහලේ පැවති අතර, එහිදී තවදුරටත් සාක්ෂිකරු මෙසේ ද කීවේය.
“මේ මිය ගිහින් ඉන්නේ මගේ පෙම්වතිය. ඇය පුද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂිකාවක්. මම ඇයව හඳුනාගෙන අවුරුදු එක හමාරක් පමණ වෙනවා, ඒ කෝච්චියේදී. මව්පිය කැමැත්ත ඇතුව අපි ලබන මාසයේ විවාහ වෙන්නයි හිටියේ.
සිද්ධිය වූ දවසෙ (23) මම නිමේෂා එක්ක එයාලගේ ගෙදර ඉඳලා බයිසිකලයෙන් කළුතර ගියා. පස්සෙ සවස හතරට විතර අපි මුහුදු වෙරළට ගිහින් කතාබහ කරමින් හිටියා. සවස 6 ට විතර අපි බයිසිකලය බැංකුව ළඟ නතර කරලා සල්ලි ගත්තා. පස්සෙ පලාතොට පාරෙන් ගෙදර එන්න ආවා. මාලු ගන්න හිතාගෙන නාගොඩ හංදියට ආවා. එතැන මාලු තිබුණේ නෑ. ඊට පස්සෙ ගල්ලස්ස හංදියේ මාලු ලෑල්ල ළඟට ගියා’ ඒ පාරේ වම් පැත්තේ.
ගත්ත මාලුවලට සල්ලි දෙන්න නිමේෂා පර්ස් එක අරින්න ලෑස්ති වුණා. ඒ එක්කම සද්දයක් ආවා. අපි දෙන්නා පාරේ මැදට වැටුණා. මම බලද්දී නිමේෂා කෙඳිරි ගෑවා. එයාගෙ කණෙන් ලේ ආවා’ මම එයා උකුලට අරන් උදව් ඉල්ලලා කෑ ගැහුවා.
ඒ අවට අයගේ උදව් ඇතිව නිමේෂා ත්‍රිවිල් එකකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට අරන් ගියා’ එයාට සිහිය තිබුණේ නෑ. ඔක්සිජන් බට දාලයි තිබුණේ. මටත් තුවාල හින්දා වෙන වාට්ටුවකට මාව ඇතුළු කළා’ නිමේෂා මිය ගිහින් කියලා දැන ගත්තේ පහුදා උදේ.
”
මෙහිදී නෑබඩ, වෙල්ලත පදිංචි වෙන්ඩරලාගේ ප්‍රේමසිරි (43) යන අය ද සාක්ෂි දෙමින් මෙලෙස කීවේය.
“මම රස්සාව විදියට කරන්නේ කුඩා ලොරියකින් පළතුරු විකුණන එක. මේ සිද්ධිය වූ දවසෙ මම පයියාගලට ගිහින් පළතුරු අරන් ආපහු එමින් සිටියේ. නාගොඩ හංදියට එන කොට හවස 6.45ට 7.00ට විතර ඇති. ගල්ලස්ස හංදියට ළංවෙන කොටම මට එකවරම නින්ද ගියා. මට එකපාරම ඇහැරිලා බලන කොට ලොරියට ඉස්සරහින් බයිසිකලයක් එක්කදෙන්නෙක් වැටිලා ඉන්නවා දැක්කා. පස්සෙ ත්‍රිවිල් එකකින් ඒ දෙන්නා ඉස්පිරිතාලෙ යැව්වා, එහිදී තරුණිය මිය ගිහින් කියලා දැන ගත්තා.”
මෙහිදී මිය ගිය අයගේ පියා වන කන්දමුල්ලගේ නීල් කරුණාතිලක රුද්‍රිගු (51) ද සාක්ෂි දෙමින් මෙසේ කීවේය.
“අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ මිය ගිහින් ඉන්නේ මගේ ලොකු දුව. දුව ලබන මාසෙ විවාහ වෙන්න හිටියේ. මේ අනතුර වෙලා තියෙන්නේ දුව විවාහ වෙන්න ඉන්න පුතත් එක්ක යනකොට.”
මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරී එන්. එල්. එල්. ජයසිංහ මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය අක්මාවට හානිවී උදරයට රුධිරය වහනයවීමෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළේය.
650 Views
Comments