ටින් කරපු කෑම වර්ග ගන්නවනම් මේ විස්තරත් කියවලා බලලම ඉන්න

ටින් කිරීම යනු ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රමවේදයකි. මෙහිදී ආහාර බහාලුමක බහා මුද්‍රා තබා, එය තාපය සහ/හෝ රසායනික ප්‍රතිකාර වලට නිරාවරණය කිරීම සිදුකරනු ලබයි.
එසේම, ටින් කිරීම මගින් ආහාර විෂබීජහරණය කිරීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව සහ ආහාරයේ සංවේදක ගුණය (organoleptic properties) රඳවා තබා ගනිමින් කාමර උෂ්ණත්වයේ මාස හෝ වසර ගණනක් දක්වා ආහාර ගබඩා කළ හැක. මේ අනුව, ටින් කිරීම ආහාර කල් තබා ගැනීමෙහිලා භාවිතා වන ප්‍රචලිත ක්‍රමයකි.
සෝස් වර්ග, පැස්ටා, මස්, මාළු, එළවළු සහ පලතුරු ටින් කළ ආහාර සඳහා උදාහරණ වේ.
ආහාර ටින් කිරීමේ දී සිදු කරන ප්‍රධාන ක්‍රියාවලි තුනකි. ආහාර සැකසීම (උදා:පොතු ඇරීම, සේදීම, කැබලිවලට කැපීම, පිසීම ), සැකසූ ආහාර ටින් වල අඩංගු කර සීල් තැබීම හා ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය කිරීම මෙම පියවර තුනයි.
ටින් අධික උෂ්ණත්වයට නිරාවරණය කිරීමෙන් ආහාර නරක් වීමට සහ/හෝ ආහාර මගින් බෝවන රෝග (Food borne illnesses) ඇති කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම සිදුවේ. එමෙන්ම ආහාර නරක් වීමට හේතු විය හැකි ඇතැම් එන්සයිම අක්‍රීය කිරීම ද සිදුවේ. එසේම, තාපය සැපයීමෙන් රික්තයක් නිර්මාණය කරයි. මෙම පරිසර තත්ත්වයන් යටතේදි ආහාරය නැවත ක්ෂුද්‍රජීවීන්ගෙන් දූෂණය වීම වැළකේ. මන්ද යත්, සමහර බැක්ටීරියා වර්ගවලට ඔක්සිජන් නොමැතිව පැවතිය නොහැකි නිසාවෙනි.
ගබඩා කිරීමේ පරිසර තත්ත්වයන් සහ ආහාරවල ස්වභාවය ඇතුළු විවිධ සාධක මගින් ටින් කළ ආහාර කල් තබා ගැනීමේ කාලය තීරණය වේ.
සාමාන්‍යයෙන් ටින් කළ ආහාර ගබඩා කරන්නේ සිසිල් වියළි පරිසරයක ය. සෞඛ්‍ය සහ ආරක්‍ෂිත හේතූන් මත ගබඩා කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ඇත්නම් ඒවා ලේබලයේ සඳහන් කළ යුතුය. "කල් ඉකුත් වීමේ දිනය"( best before ) ආහාරවල ගුණාත්මකභාවය මනිනු ලබන අතර ආහාරය නිසි ලෙස ගබඩා කර ඇති තාක් එහි ගුණාත්මකභාවය, රසය සහ පෝෂණය රදවා ගන්නා බව සහතික කරනු ලබයි.
නුසුදුසු ලෙස සකස් කරන ලද ටින් කළ ආහාරවල හානිදායක බැක්ටීරියාවක් වන Clostridium botulinum අඩංගු විය හැක. මෙම බැක්ටීරියාව බොටුලීනියාව (botulism) ඇති කිරීමට හේතු වේ. මෙසේ නුසුදුසු ලෙස ටින් කළ ආහාර මෙම බැක්ටීරියා සඳහා විෂ නිපදවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ හැකිය.
අපවිත්‍ර වූ ආහාර පරිභෝජනයෙන් බොටුලීනියාව ඇති විය හැකි අතර නිසි ප්‍රතිකර්ම නොලැබුණහොත් එය අංශභාගය හා මරණයට හේතු විය හැක. බොටුලීනියා තත්ත්වය බහුල වශයෙන් නිවසේදී නුසුදුසු ලෙස ටින් කළ ආහාර නිසා ඇතිවේ. වාණිජමය වශයෙන් ටින් කළ ආහාර වලින් බොටුලීනියාව ඇතිවීම තරමක් දුර්ලභ ය.
මීට අමතරව, ටින් කළ ආහාරවල විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය පැවතිය හැකි බව වාර්තා වී ඇත. ලෝහ, බහු අවයවීය දූෂක සහ ජෛවජනක ඇමයින් දූෂක වැනි රසායනික අපවිත්‍ර ද්‍රව්‍ය මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැක.
ටින් කළ ආහාර මිලදී ගැනීමට පෙර, ඒවා හොදින් පරීක්ෂා කිරීම, පාරිභෝගිකයා විසින් සිදුකළ යුතුය. ඉදිමීම (bulging) සහ/හෝ කාන්දු වීම, මලකඩ පැවතීම වැනි තත්ත්වයන් දැකිය හැකි නම්, එවැනි ටින් කළ ආහාර මිලදී ගැනීමෙන් වැළකිය යුතුය. ටින් ඉදිමීමට ලක්වීම විවිධ යාන්ත්‍රික, රසායනික හෝ භෞතික සාධක නිසා ඇති විය හැක. එසේම එය රෝගකාරක ක්ෂුද්‍රජීවින් අඩංගු විය හැකි බවට ඉගියක් ද විය හැකිය. මන්ද යත් botulinum වැනි බැක්ටීරියාවන්ගෙන් නිපදවන පරිවෘත්තීය ද්‍රව්‍ය ටින් තුළ එක් රැස් වීම එසේ ටින් ඉදිමීමට හේතු විය හැකි බැවිනි.
අන්තර්ගත ආහාර ද්‍රව්‍යයේ ආගන්තුක, අසාමාන්‍ය ගන්ධයක් හෝ වර්ණයක් තිබේ නම්, හෝ ලෝහ බහාලුම් (සහ පියන) ඇතුළත විඛාදනයට ලක් වී ඇත්නම්, අන්තර්ගතය පරිභෝජනය කිරීම සුදුසු නොවන අතර ඒවා ඉවත දැමිය යුතුය.
ටින් කළ ආහාර ඉක්මනින් නරක් නොවුණද, වරක් විවෘත කළ විට, ඒවා ඉක්මනින් නරක් විය හැක. එම නිසා මුද්‍රා ඉවත් කර විවෘත කරන ලද බහාලුමේ අන්තර්ගතය වහාම භාවිතා නොකරන්නේ නම්, ඒවා පිරිසිදු ප්ලාස්ටික් හෝ වීදුරු භාජනයකට දමා ආවරණය කර, ශීතකරණයක් තුළ ගබඩා කළ යුතුය.
විශේෂයෙන්ම, වසරේ එක් කාලයකදී පමණක් ඵලදාව ලබා දෙන පළතුරු සහ එළවළු පරිරක්ෂණය කිරීම සඳහා මෙන්ම, ආහාර විවිධාංගීකරණය කිරීම සඳහාද, ටින් කළ ආහාර පෝෂ්‍යදායී සහ ලාභදායී ක්‍රමයක් විය හැකිය. ටින් කළ ආහාර නිෂ්පාදනයේදී මෙන්ම පරිභෝජනයේදීද ආහාරයේ ආරක්ෂිතභාවය සබැදි උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීම පරිභෝගිකයාගේ සෞඛ්‍යාරක්ෂිතභාවය සුරැකීම සඳහා උපකාරී වනු ඇත.
515 Views
Comments