ජීවිතයේ සතුට විඳින ෆින්ලන්තයේ ජනතාව

මිනිසුන් ලෙසට අපි උපන්දා පටන් නොයෙකුත් ජීවන රටාවන් අනුගමනය කරන්නෙමු. කුඩා දරුවකුව සිටින අවධියේදී මවුපියන්ගෙන්, දකින්න ලැබෙන වටපිටාවෙන් අප ජීවිතය හැඩගස්වා ගනී. අනතුරුව ටිකෙන් ටික වැඩෙන විට අපේ ජීවිත විවිධාකාර අරමුණු වලින්, ආසාවන්ගෙන් පිරුණු තරමක් සංකීර්ණ ගමනක් බවට අපටත් නොදැනීම පත් වෙයි. කුමන ආකාරයක ජීවන රටාවක් ඔස්සේ හඹා ගියද අප කරන කියන සියල්ලෙහි අවසන් අරමුණ, සතුට පමණක්ම වේ.
හුස්ම ගන්නා හැම තත්පරයක්ම ධනය, බලය, ආකර්ෂණීයත්වය වැනි බාහිර සාධක වෙනුවෙන් අප වෙහෙසෙන්නේ අවසානයේ සතුටක් ලැබීමේ බලාපොරොත්තුවෙනි. නමුත් අප වටහා ගත යුතු කරුණක් වනුයේ සැබෑ සතුට මෙවැනි බාහිර දේවල් මත රඳා පවතින්නේද යන්නයි.
වර්තමානයේ ගෝලීය දර්ශකයක් මගින් සතුට මනින්න තරමට සතුට අප වෙතින් ගිලිහී යමින් පවතින්නක් බවට පත්ව ඇත. මේ ගෝලීය දර්ශකයට අනුව කලක පටන් සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින්නේ ස්කැන්ඩිනේවියානු රටවලයි. එයිනුත් ඉදිරියෙන්ම වැජඹෙන්නේ ෆින්ලන්තයයි. අවාසනාවකට අපේ මව්බිම තවමත් එම දර්ශකයේ පහළින් සිටී. නමුත් අපට හැකි නම් ෆින්ලන්තයෙන් පාඩම් ඉගෙන ගන්න, දර්ශකයේ ඉහළ අගයක් ගැනීමටත් වඩා රටක් ලෙසින් අපේ අනාගතය වර්ණවත් කිරීමට එය නිසැකවම ඉවහල් වනු ඇත.
ෆින්ලන්ත වැසියන් බොහෝවිට එළිමහනේ ජීවත් වීමට හුරු වූ ජාතියකි. ඉඩක් ලැබෙන හැමවිටම ගොඩනැගිලි තුළ සිර නොවී හරිත පැහැ පරිසරයට, පිරිසිදු වාතාශ්‍රයට නිරාවරණය වන ඔවුන් දරුවන් කුඩා අවධියේ පටන් සොබාදහමට සමීපව ජීවත් වීමට හුරු කරවයි. මේ හේතුවෙන් කොතරම් කාර්‍යබහුල පුද්ගලයන්ට වුවත් මානසික ආතතියක් ඇති වීම ඉතා දුලබය.
සොබාදහමට ඇති ලැදියාව නිසාම ෆින්ලන්තය යනු සම්පූර්ණයෙන්ම පිරිසිදු ජලය පවතින රටකි. එහි ඕනෑම ස්ථානයකින් පානීය ජලය ලබා ගත හැකි අතර අවන්හලකින් වුවද මුදලට ජලය විකිණීමක් එහි සිදු නොවේ. ජලය යනු ජීවයයි; එය රුධිරය පිරිසිදු කරයි; සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කරයි.
ෆින්ලන්තය අනුගමනය කරන තවත් විශේෂ ක්‍රමවේදයක් වන්නේ අලුතින් ඉපදෙන සෑම දරුවෙක් වෙනුවෙන්ම රජය විසින් දීමනාවක් ලබාදීමයි. එම දීමනාව දරුවාට වයස අවුරුදු 17 ක් වනතුරු ක්‍රියාත්මකයි. එයින් ඔවුන් අදහස් කරන්නේ අලුතින් ඔවුන්ට එකතු වන ජීවිත කිසිවිටෙකත් ඔවුන්ට බරක් නොවන බවයි. දිනෙක රටේ අනාගතය නිර්මාණය කරන කුඩා ජීවිත පිළිබඳව ඔවුන් ඉතා වගකීමෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සතුට සුරක්ෂිත කිරීමටත් ඉවහල් වේ.
ෆින්ලන්ත වැසියන් එරට ආරක්ෂක අංශ පිළිබඳව දැඩිව විශ්වාස කරයි. නීතියේ ස්වාධීනත්වය අකුරටම පවත්වා ගෙන යාම නිසා එහි අපරාධ සිදු වීම මෙන්ම නීතියට අනවශ්‍ය බලපෑම් සිදු වීමද අල්ප ය. තමන්ගේ ජීවිත සුරක්ෂිත බව හැමවිටම ඔවුන්ගේ සිත් වල පැවතීම හේතුවෙන් ඔවුන් සැහැල්ලුවෙන්, හැකි උපරිමයෙන් තමන්ට පැවරී ඇති රාජකාරි වල නිරත වෙයි.
අන්තර්ජාලය තම රටේ වෙසෙන සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් බවට ෆින්ලන්තය සලකයි. මේ හේතුවෙන් ජනගහනය අධික ප්‍රදේශයන්ට පමණක් සීමා නොවුනු වේගවත් අන්තර්ජාල සබඳතාවක් එරට වැසියන්ට හිමි වේ. තම ජනතාව වෙනුවෙන් එවැනි තීරණයක් ගත් ලොව පළමු රට වන්නේද ෆින්ලන්තයයි.
තවද ෆින්ලන්තය යනු මවට වඩා පියා දරුවන් වෙනුවෙන් කැප වූ රටකි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල දරුවන් පියවරුන් හමුවන්නේ දවසේ ඉතා සුළු මොහොතකට පමණි. පියවරුන් රැකියාව වෙනුවෙන්ම ජීවත් වන කොටසක් මෙනි. නමුත් ෆින්ලන්තයේ අලුතින් දරුවකු ඉපදුණ විට සති 9 ක පඩි සහිත නිවාඩුවක් පියාටත් ලබා දෙයි. මෙමගින් ඔවුන් පවසන්නේ දරුවන්ගේ සතුට හුදෙක් මව මත පමණක් රඳා පවතින්නක් නොව ඔවුන්ගේ ජීවිත සංවර්ධනයට මවුපියන් දෙපළම සමීපව සිටිය යුතු බවයි.
මේ ආකාරයේ බොහෝ සරල ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීම සමස්ත රටේම සතුට මෙන්ම ආරක්ෂාව, අධ්‍යාපනය, සංවර්ධනය සුරක්ෂිත කිරීමට හේතු වී තිබේ. මදක් සිතා බලන්න, මේ කිසිදු ක්‍රියාමාර්ගයක් පිළිපැදීමට අපහසු ඒවා නොවෙන බව ඔබට පසක් වනු ඇත. සතුට ඇත්තේ අප තුළමය. අවශ්‍ය වනුයේ එකිනෙකාගෙන් සිදු වන අඩුපාඩු පිළිබඳ නොතැවී අප තුළ ඇති සතුට සොයා ගවේෂණය කිරීමයි.
402 Views
Comments