ඉන්දියාවේ අහසේ පාවෙන අරුම පුදුම අවන්හල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ඉන්දියාවේ අහසේ පාවෙන අරුම පුදුම අවන්හල

ඉන්දියාවේ අහසේ පාවෙන අරුම පුදුම අවන්හල

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග වෙනස් විදියට හිතන මිනිසුන් ලෝකයට අරුම පුදුම නිර්මාණ දායාද කර තිබේ. සියවස් ගණනාවකට එහායින් සිට ගොඩනැගුණු ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මයජනක නිර්මාණ අදටත් බොහෝ සෙයින් ඇගයීමට පාත්‍ර වී ඇත. එවැනි ඇතැම් නිර්මාණයන් පසුපස ඇති තාක්ෂණය තවමත් අභිරහසක් වීම ඒවායේ විශිෂ්ටත්වය මැනවින් කියාපාන්නකි.

 

 

ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීයත්වය එදා මෙන්ම අදටත් නොවෙනස්ව පවතී. එයට හොඳම නිදසුනක් වන්නේ මෑත කාලීනව ලෝකයේ අසන්නට ලැබෙන අරුම පුදුම අවන්හල් සංස්කෘතියයි. හුදෙක් ආහාර ගැනීමට පමණක් නිර්මාණය කරන ලද ස්ථාන යන්නෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයන් වෙනුවෙන් විවිධ අත්දැකීම් ගෙන එන එකකට එකක් වෙනස් අවන්හල් ‍රැසක් අද ලෝකයේ දැක ගත හැකියි.

 

 

එලෙස ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂී අවන්හලක් පිළිබඳව අපේ ළඟම අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ ඉන්දියාවේ එල්ලෙන අවන්හලයි. මෙම අවන්හල ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ  Fly Dining නමිනි. එකවර 20 දෙනෙකුට අසුන්ගත් හැකි කෑම මේසයක හැඩය ගත් එම අවන්හලෙහි ආහාර ගැනීමට ඇත්තේ අඩි 160 ක උසක සිටය.

 

 

පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ බඳ පටි සහිත අසුන් මෙහිදී පිරි නමා ඇති අතර ගැබිණි මවුවරුන්ට සහ වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට මෙම අවන්හල තහනම් ස්ථානයකි. තවද මෙම අවන්හලට පැමිණෙන අයගේ බර අනුව අවන්හල ගමන් කරන උස වෙනස් කරනු ලබයි.

 

 

පුවත්පත් සාකච්ඡාවක්, රාත්‍රී භෝජන සංග්‍රහයක් ආදී විශේෂ අවස්ථාවන් සැලසුම් කිරීමට ඉතා හොඳින් ගැළපෙන මෙම අවන්හලේ සිට ඉන්දියාවේ රාජ්කොට්හි පිහිටි බොහෝ ඓතිහාසික සංචාරක ස්ථාන රැසක් දැක බලා ගත හැක. අඩි 160 ක් ඉහළ අහසේ පාරිභෝගිකයන්ට ආහාර සැපයීමට, සූපවේදියෙකු ඇතුළුව කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ඡායාරූප ශිල්පියෙකු ද අවන්හල විසින් ලබාදීම විශේෂත්වයකි. 

 

 

මෙම අවන්හලේදී ලබාගත හැකි වනුයේ ග්‍රිල් කළ කුකුළු මස්, ඖෂධීය බත්, බැදපු එළවළු වැනි කෙටි ආහාර වේලකි. මීට අමතරව මොක්ටේල් වැනි පානයන්ද එහිදී ලබාගත හැකි අතර අතුරුපස ලෙස පලතුරු බඳුන්ද සැපයේ. මෙම ස්ථානයේ ඇති විශේෂත්වය නිසාම මෙහි එක් ආහාර වේලක් ඉන්දියානු රුපියල් 5000 - 15000 අතර පරාසයක පවතී. පැයකට අධික කාලයක් පුරාවට දිව්‍යමය සුව පහසුවක් සලසන බවට සැලකෙන මෙම අවන්හල ඉන්දියාවේ සංචාරක ආකර්ෂණය තව තවත් වැඩිදියුණු කිරීමට සමත්ව ඇත.

 

 

වෙනස් නමුත් විශිෂ්ට අදහස් දැරූ පුද්ගලයන් අතින් ඉදිවුණු මෙවැනි නිර්මාණ තවත් දශක ගණනාවකදී කතාබහට ලක්වනු නොඅනුමානය.

 

 

https://media.aayubo.com/assets/content/Sd-1yunwN5160y.jpg

views

433 Views

Comments

arrow-up